පුංචි කෝච්චි පාර
කිරිබත්ගල කදු ඉස්මත්තෙන් ඉර සැඟවී යාමට ඇත්තේ හෝරාවකට නොඅඩු කාලයකි. වටාපත කෝච්චි ස්ටේසම ලඟ මහ සෙනඟක් රැස්ව සිටිති. ස්ටේසමෙන් කිරිබත්ගලට යන පාරේ නුදුරේම පිහිටි නිවසක සිටි දයාවතී ඉස්කොලෙ හාමිනේ චීත්ත නෙරියේ අත පිස දම දමා එළිපත්තට ආවාය. නිවිතිගල සිට පැමිණෙන අන්තිම බස් රථයේ ඇගේ සැමියා වන පියරත්න ඉස්කෝලෙ මහත්මයා පැමිණීමට නියමිතය. හන්දියේ සිටින සෙනඟ සිටින්නේද ඔහු ඇතුළු පිරිවර එන තුරාය. වටාපත කඳු ගැටය නැඟ, අද්ද අද්දා පැමිණි මොරිස් ලොරි බසයක් ස්ටේසමේ රේල් පාර පැන නතර විය. ගම්මු ඒවාට කියන්නේ පාන් බාග බස් කියාය. ඉස්කෝලෙ මහත්තයා ස්වාමීන් වහන්සේ නමක් පෙරදැරි කරගෙන බසයෙන් බැස්සේය. උන්වහන්සේ, වටාපත ශ්‍රී දේවානන්ද පිරිවෙනේ විහාරාධිපති තැන්පත් මානාදොළ ඉන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේය. මග බලා සිටි පිරිවර එකත්පස්ව ස්වාමීන් වහ්න්සේට වැඳ ආචාර කලහ. ඉන් අනතුරුව ඉස්කෝලෙ මහත්මයාට පසු පසින් මහ නඩයක්ද බසයෙන් බැස්සෝය. සෙනඟ, ඉස්කොලෙ මහත්මයාත් සෙසු අයත් වටකරගෙන තොරතුරු විමසනු පෙනිණි. මදකට පසුව නැගී ආවේ ජය ඝෝෂාවකි. "අපේ හාන්දුරුවන් වහන්සේට ජය වේවා!, පියරත්න ඉස්කොලෙ මහත්තයාට ජයවේවා!"
ස්ටේසම් ගබඩාවේ වේදිකාව මතට නැගුණු ඉස්කෝලෙ
මහත්මයා සභාව අමතනු පෙනිණි. ඉන් අනතුරුව, ආගිය කතා වලින් පසුව සභා තෙමෝ උඩටත් පහලටත්,
වමටත් දකුණටත් සතුටින්
විසිර ගියහ. ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කල ඉස්කෝලෙ මහත්මයා කන්ද නැඟගෙන ආවේය.
ස්වාමීන් වහන්සේ කන්ද බැසගෙන පන්සලට වැඩම කලහ.
විඩාපත්, එහෙත් සොම්නස් මුහුණෙන් යුතුව ඉස්කෝලෙ
මහත්මයා ගෙඩ ගොඩ විය. " ඕන්න මැණිකේ ඒ වැඩෙත් හරි. කෝච්චි පාර ගලවන්නෙ නෑ
කියල දිසාපති තුමා අපට ලියවිල්ලක්ම අත්සන් කරල දුන්න. ඒක හාමුදුරුවො අතේ. දවස්
ගානක මාන්සිය අපතේ ගියේ නෑ කියල හිතමුකෝ" ඉස්කෝලෙ මහත්මයා එසේ කීවේ පෙරමඟ
පැමිණි ඉස්කෝලෙ හාමිනේ අතට දිග කුඩයත්, සිලි මල්ලක දමාගෙන ආ කලමනා ටිකත් දෙන අතරේය. "මට නං
ඔය වැඩ ගැන මහ විස්වාසයක් නෑ අපේ මහත්තය. ගිය අවුරුද්දෙ පාර්ලිමේන්තුත් ගියානෙ?
වැඩක් උනාද?
" දයාවතී
ඉස්කෝලෙ හාමිනේගේ දෑසේ වූයේ ස්වාමියා කෙරේ උපන් අනුකම්පාවකි.
"වට වන්දනාවක යන්න උනානෙ මැණිකෙ. ඒකෙන්ම පේනව
අපිට මේ පාර කොච්චර වටිනවද කියල. හුණුවලින් බදුල්ල කොළඹ ලංගමේක ගෙහුං
තිරුවාණාකැටියෙන් බැහැල එතනත් වරුවක් තැපල තමා නිවිතිගලට එන්න ලොරි බාගෙක එල්ලුනෙ.
ඒක පරක්කු උනානං ඔය පාං බාගෙ අල්ලගන්න වෙන්නෙත් නෑ"
"එතකොට අපේ මහත්තයො දවල් කෑම?"
"තිරුවණාකැටියෙ පෙට්ටි කඩේකින් ගල් බනිසක්
කාල කහටේකක් බීව මැණිකෙ. හාමුදුරුවො ඒකත් වැළඳුවෙ නෑ ඉර අවරට හැරිලාය කියල. කහට
එකක් වළඳල නිකම්ම වැඩ හිටිය. අපි නඩේටම තිබ්බෙ ගල් බනිස් හතරයි. බාගෙ බාගෙ කඩාගෙන
කෑවෙ. ඔය එළෝළු කලමනා ටික ගත්තෙත් එතන තිබ්බ ලෑල්ලකිං"
ඉස්කෝලෙ හාමිනේ උළුවහුවට හේත්තු වී
විස්සෝපයෙන් කතාබහ අසා සිටියේය.
"අපේ මහත්තයට මෝල්ටඩ් මිල්ක් එකක්වත් වත්
කොරන්නද"
"මම ලිදෙන් වතුර පනිට්ටු දෙකක් දමන් එඤ්ඤං. ගඟට
යන්න තිබ්බා නං පංකාදුයි. මේ වැහි කාලෙ වතුර වැඩියි" පියරත්න ඉස්කෝලෙ මහත්තයා
එසේ කියමින් ඇදුම් අහවර කීරීමට කාමරයට වැදුනි.
පියරත්න ඉස්කෝලේ මහත්මයාත්, දයාවතී ඉස්කෝලෙ නෝනාත් වටාපත රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් විශ්‍රාම ගියේ මේ මෑතකදීය. වටාපතට නුදුරු පියරත්න මහතාගේ පාරම්පරික නිවසේ ඔවුහු වෙසෙති. දයාවතී ඉස්කෝලෙ හාමිනේගෙ මුල් ගම තරමක් දුරින් පිහිටි පල්ලේබැද්දයි. ගුරු යුවලට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් දුව අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරියකි. බාල පුතු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුවෙකි. මේ ක්‍රිස්තු වර්ශ 1975 වසරයි. සබරගමුවට මහ වැසි ඇද හැලෙන මැයි මාසයයි. නිරිතදිග මෝසමයි.
*****
වටාපත හන්දියේ ඇති ප්‍රධානම ගොඩනැගිල්ල දුම්රිය
ස්ථානයයි. දුම්රිය පලත්, බඩු ගබඩාවත්
ඒකාබද්ධ කර ගලින් තැනූ තනි මහල් ගොඩනැගිල්ලක් වූ එය රට උළු සෙවිලි කර ඇත. එයට
පිටුපසින් කදු ගැටයක් මත දුම්රිය ස්ථානාධිපති වරයාගේ නිල නිවසද, දකුණු පසුන් ඊට
නුදුරින්ම උප ස්ථානාධිපති වරයාගේ නිවසද පිහිටා ඇත. දුම්රිය ස්ථානයේ සිට මයිල සතරක්
දකුණට ගියහොත් දෑලටද, හයක් වමට ගියහොත්
කහවත්තටද ලඟා වීමට පුළුවන. දුම්රිය ස්ථානය ඉදිරියන් පහලට බැස වේ ගඟ තරණය කර යන පාර
නිවිතිගලටය. එම පාරම රේල් පාර පැන කන්ද දිගේ ඉහලට යන්නේ කිරිබත්ගලටය. ස්ටේසම
ඉදිරිපිට අඟුරු එන්ජින් වලට දිය සම්පාදනය කරන දිය කුළුණකි. ගොඩනැගිල්ලට සමීපව බර
කිරන අත් තරාදියකි. නිවිතිගල සිට වටාපත දක්වා සේවය සපයන ලංගම හා 'පාන් බාග' බස් ස්ටේසමට වම් පසින්
නවතා, හරවා ධාවනය
වේ.
ඉහත කී නිවිතිගල වටාපත පාර දුම්රිය පාරේ
ඉදිකිරීමට සමගාමීව 1916 දී පමණ සුදු අධිරාජ්‍යවාදීන්
විසින් ඉදිකරන ලද්දකි. දුම්රිය පලට සමීපයේ වේ ගඟට උඩින් එකලම ඉඳිවූ මනරම් ආරුක්කු
සහිත මඟී පාලමක් ඇත. ගුරු යුවලගේ නිවස පිහිටි කිරිබත්ගල පාර, පාසල දක්වා තරමක්
දියුණු මට්ටමේ පැවතියද ඉන් එපිටට වූයේ ට්‍රැක්ටර් පාරකි. එය, හන්දුරුකන්ද හරහා
පැල්මඩුල්ලට නුදුරු පනාවැන්නට සම්බන්ධ වේ. කිරිබත්ගල, වටාපත, දෑල ආදී ප්‍රදේශ එළිපෙහෙලි කර සාර සුබාවට තේ
වැව්වේ සුද්දාය. ඒ තේ වතු, හැටේ දශකයේදී
දේශීය වතු හිමියන් අතට පත්වී කුඩා කැබලි බවට පත් විය. කිරිබත්ගල සහ හන්දුරුකන්දේ, පැල්මඩුල්ල මන්ත්‍රී
අත්තනායක මහතාට අයත් තේ වතු ගනනාවක් සහ තේ ෆැක්ටේරියක් විය. කිරිබත්ගල හන්දුරුකන්ද
හරහා ඒ මහතාට අයත් 'අත්තනායක ට්‍රාන්ස්පොට්'
සේවයේ නිල් පැහැ ලොරි
සහ ට්‍රැක්ටර් නිතර ගමන් ගත්තේය. අත්තනායක තේ කර්මාන්තශාලාවේ තේ පෙට්ටි පටවාගත්
ලොරි, පැල්මඩුල්ල
රත්නපුර පාර ඔස්සේ කොළඹ වරාය දක්වා ඇදුනි.
අවිස්සාවේල්ලේ සිට රත්නපුරයටත්, රත්නපුරේ සිට
තිරිවානාකැටිය, දෑල, වටාපත, කහවත්ත හරහා ඕපනායකටත්
වැටුනු කැලණිවැලි පුංචි කෝච්චි පාර ගලවා දමන්නට යන බවට මුලින්ම කසු කුසුවක් පැතිර
ගියේ 70 දසකයේ
මුලදීය. මැතිණියගේ දෙවන අගමැති ධූර කාලයේය. දුම්රිය පාරට කුඩම්මාගේ සැළකිලි
ලැබෙන්නට පටන්ගත්තේ ඊටත් පෙර, හැටේ
දශකයෙදීය. යල් පැන ගිය අඟුරු කෝච්චි, පෙට්ටි වැනි
පොඩි ඩීසල් කෝච්චි රේල් පාරේ දිව්වේ යලට මහටය. සතියකට දෙකකට වරක් කොහේ හෝ සිදුවන
පීලි පැනීමක් නිසා රේල් පාර වසා දැමේ. කෝච්චි පීලි ගත වෙන්නේ ඒවායේ ගමන මෙන්ම
මන්දගාමීවය. සිල්පර සහ පීළි අතර දණක් උසට මානා පදුරු වැවී ඇත. කෝච්චි රෝද වලට
කැපෙනවා විනා ඒවා එළිපෙහෙළි වීමක් නැත. පාරේ ඇතිරූ ගල්, පොළවට කිදා බැස මඩ පිපී ඇත.
හැත්තෑ තුනේ වසරේ පුද්ගලික
උවමනාවකට රත්නපුරයට යමින් සිටි පියරත්න මහතා දෑල ස්ටේසමේ ගොඩ ගසා තිබූ අලුත්ම
සිල්පර කොටන් ගොඩක් දුටුවේය. "යන්තම් ඇති. පාර රෙපෙයාර් කරන්න වගේ".
ඉස්කොලෙ මහත්මයා සැනසුම් සුසුමක් හෙළුවේය. නිල් පැහැති නවීන පන්නයේ එන්ජිමක්ද
සයිඩිමක නවතා ඇත. ආපසු හවස කෝච්චියේ ගෙදර එද්දී ඒ දුම්රිය දෑල ස්ටේසමේ නැවතුනි. සෙනඟ, කෝච්චි පාරේත්, රත්නපුර නිවිතිගල පාරේත් පිරී සිටිති.
පියරත්න ඉස්කෝලෙ මහත්තයා වහ වහා දුම්රියෙන් බැස්සේය. මහ සෙනඟ හසුරුවමින්
ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද වැඩ සිටිති. ඉන්ද්‍රවංශ හිමියන්ද ඒ අතරය. පියරත්න
ඉස්කෝලෙ මහතා දුටු උන් වහන්සේ සෙනඟින් මදක් මෑත් වූහ.
"මොකද්ද අපේ හාමුදුරුවනේ කලබොලේ"
"තේ පෙට්ටි හදන්න ලෑලි ගන්ඩ සිංහරාජෙ කපන්ඩ
යනවයි කියන්නේ අපේ මහත්තය. සහ ගහන අපරාධ ඔව්ව. මෙතන ඉදන් කලවානට කෝච්චි පාරක්
එලන්ඩ යනවයි කියන්නෙ. ඔය එන්ජිම ගෙනැල්ල තියෙන්නෙත් කොට අදින්ඩමලු" ස්වාමීන් වහන්සේ කතා කලේ මැඩගත් කෝපයෙනි.
"වෙන්ඩ දෙන්න පුලුවන් වැඩක්ද හාමුදුරුවනේ.
ඒනම් ඉතින් මැතිණිගෙත් බහින කලාව තමයි"
කලවානේ මන්ත්‍රී නීතිඥ අජිත් මුත්තෙට්ටුපලත්, රත්නපුර මන්ත්‍රී සුනන්ද පහලවෙලත් ජනතාව අතරට පැමිණියේ මේ අවස්ථාවේදීය. රැස්ව සිටි මහජනතාව ඔවුන් හැදින්වූයේ අජිත් අප්පෝ හා සුනන්ද අප්පෝ වශයෙනි. රුවන්පුර ජනහද දිනූ මේ නායකයන්ගේ ආගමනය සමග මහජනතාව මදක් සන්සුන් විය. සුනන්ද අප්පෝ රැස්ව සිටි ජනතාව ඇමතුවේ ඔහුගේම ඩබල් කැබ් රියේ පිටුපස තට්ටුව මතට නගිමිනි.
"ඔබ තමුන්නාන්සේලා කලබල වෙන්න ඕනි නෑ.
සිංහරාජ වනාන්තරේ සම්පූරම්ම කපල දාන සැලසුමක් මෙතන නෑ. කොටසක් ශුද්ධ කරල, ඒ කොටසේ නැවත වනය වගා
කරමින් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ. තමුන්නාන්සේලා නිරත වෙලා ඉන්න තේ කර්මාන්තයට
ඕන කරන තේ පෙට්ටි දේශීයව නිශ්පාදනය කරන්න තමයි සාලාවෙ තුනී ලෑලි කර්මාන්ත ශාලාව
පිහිටුවන්නෙ. මේ කැලණිවැලි දුම්රිය මාර්ගය පවතින්ඩ නම් ඒ වගේ ප්‍රයෝජං වැඩකට යොදා
ගන්ඩ ඕනි"
"සිංහරාජෙ කපන්ඩ නම් මක්කල්ල වත් දෙන්ඩ බෑ
අප්පො" ජනයා වෙතින් හඩක් නැඟුනි.
"මම පෙරත් කීව වගේ කැලේ බිමට සමතලා වෙන ව්‍යාපෘතියක්
නෙමේ මේක. වන වගාවකුත් කෙරෙනව"
අප්පොලා දෙපලට තිබූ ගෞරවයට පිරිස මදක්
සන්සුන්ව එදිනට විසිර ගියහ. දෑල ස්ටේසමේ නවතා තිබූ ලා නිල් පැහැති එන්ජිම ඕපනායක
දක්වා යන්නට ගොස් වටාපතට නුදුරේදී පීලි පැන්නේය. " ඕවා දේව සාප මහත්තයො"
ස්වාමින් වහන්සේ නමක් වදාල සේක. ඒ එන්ජිම නැවත පැත්ත පලාතේ ආවේ නැත. දෑල - කලවාන
කෝච්චි පාර එලුනේද නැත. තෙල් සුවඳ හමන සිල්පර දෑලෙන් ආපසු කොළඹ ගියේය. කෝච්චි පාර
කෙසේ වෙතත් සිංහරාජය යමරෙටම කැපෙන බව පුවත් පත් වල පල විය.
රේල් පාර ගලවන පුවත නැවත රැගෙන ආවේ පලාතේ
විපක්ෂ එජාප මන්ත්‍රී වරයෙකු වූ කුලසේකර මහතාය. පාර ගැලවීම පිලිඹදව අවසන්
තීන්දුවක් සදහා පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වෙන බව ඒ පුවතේ වැඩි දුරටත් සදහන්
විය.
පියරත්න ඉස්කෝලෙ මහත්තයා හැදී වැඩුනේ
දුම්රිය හා බැඳුනු සංස්කෘතියකය. මතක ඇති සංදියේ සිට කණට හුරු අගුරු කෝච්චියේ හූවත්,
කළු අඟුරු දුමත්,
සුදු වාශ්ප දුමත්,
රේල් පීල්ලේ දුම්රිය
රෝද ගැටෙන ඩක ඩකයත් ඒ සංස්කෘතියෙම අනු කොටස්ය. ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුනු
හතලිස් අටේ අවුරුද්දට පියරත්න මහතාට අවුරුදු 24 කි. ඒ වනවිට ශිෂ්‍ය ගුරුවරයෙකු වූ එතුමා
සේවය කලේ පරකඩුව නාරද මහ විද්‍යාලයේය. සති අන්තයේදී පරකඩුවේ සිට දුම්රියේම ගමට යන
පියරත්න මහතාට ගේ දොරකඩම පිහිටි වටාපත දුම්රිය ස්ථානය නිවස මෙන්ම පුරුදුය. සුද්දා
රට හැර ගිය පසුත් එතැන වැඩ සිදු වුනේ නූලට මිම්මට සුද්දාගේ ක්‍රමයටමය.
වතුවලින් ගෙන එන රබර් ශීට්, තේ පෙට්ටි වටාපොත
ගබඩාවේ පුරවා තිබුනි. කොලඹින් එන තේ සහ රබර් පෝර, උදළු, කැති, පිහි ආදිය, භූමි තෙල්, පොල් තෙල් යනාදිය බෙදා හරින තුරු ගබඩා කර
තිබුනේද එහිය. මරක්කල
වෙළදුන් කෝච්චියේ පැමිණ ගම පුරා මණි බඩු වෙළදාමේ ගොස් කෝච්චියේම ආපසු යති. ස්ටේශන්
මහත්වරුන්ගේ සහ ගාඩ් මහත්වරුන්ගේ ගාම්භීර නිල ඇදුම්, විසිල් හඬ, බර කිරන තරාදියේ සහ දොඹකරයේ කිරි
කිරිය,
අඟුරු එන්ජින් වල
ටැංකියට පහත් වන රිදී පැහැ දිය කඳ මවා පෑයේ නාගරික කලබලකාරී බවකි. පියරත්නලාට
කහවත්තට, දෑලට, රත්නපුරට යාමට වූ එකම
සාර්ථක ප්‍රවාහන සේවය වූයේ දුම්රියයි. ඉන්ද්‍රවංශ හිමියන්ගේ ගරු අනුශාසකත්වයෙන්,
පියරත්න ඉස්කෝලේ
මහත්මයාගේ මූලිකත්වයෙන් "කැළණිවැලි දුම්රිය සංගමය" බිහිවන්නේ මෙවන්
පසුබිමකය.එම දෙපලට අමතර විශ්‍රාමික තැපල් ස්ථානාධිපති වරයෙකු වූ ඇන්තනි මහතා
සංගමයේ ගරු ලේකම් තනතුරට පත් විය. ඒ මහතාගේ පදිංචිය දෑලය.
දුම්රිය පාර ගලවා ඉවත් කරනවාට විරුද්ධව
පලාතේ සියළු මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන පක්ෂ වලට ගම්වාසීන් විසින් අත්සන් කරන ලද
පෙත්සම් ඉදිරිපත් විය. පලමු මහා සභා රැස්වීම පැවැත්වුනේ දෑල ශ්‍රී මහින්දාරාම
විහාරයේය. අත්තනායක මහතාත්, අජිත් අප්පොත්,
සුනන්ද අප්පෝත්,
කුලසේකර මහතාත් ඇතුළු
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් දසදෙනෙක් පමණ
රැස්වීමට ආරාධනා ලැබ සිටියහ. රැස්වීමට සහභාගි වූයේ අජිත් අප්පෝත් සුනන්ද අප්පෝත්
පමණි. කුලසේකර මහතා ආවේ අන්තිම මොහොතේය. අත්තනායක මහතා මග හැරියේ එතුමාගේ ප්‍රවාහන
සේවයේ දියුණුවට කෝච්චි පාර බාදාවක් නිසා යැයි සභා තෙමෝ කසු කුසු ගෑවාය.
ඒ වන විටත් කහවත්ත, පැල්මඩුල්ල,
බලංගොඩ ප්‍රදේශ වල තේ
වතු අත්තනායක ට්‍රාන්ස්පෝට් සේවාව හරහා සැකසූ තේ කොළඹ යවමින් සිටියහ.
"අපිට මේ කෝච්චි පාර ගලවල දාන්න දෙන්න බැහැ. කැලෑ වගේ තිබුන අපේ ගම්බිම් එළි පෙහෙළි උනේ මේ කෝච්චි පාර සුදු මහත්වරුන් එලපු හින්ද. අපිට කහවත්තට, දෑලට,රත්නපුරට යන්ඩ තියෙන ලේසිම ක්‍රමේ මේකයි. දැං බලන්ඩ, රට මැද්දෙන් යන වෙන කෝච්චි පාරක් තියෙද? රත්නපුර දිස්ත්‍රික්කයට තියෙන මේ සම්පත ආරක්ශා කර ගැනීම අපි හැවෝගෙම වගකීමක්" පියරත්න ඉස්කෝලෙ මහත්මයා සභාව අමතමින් කියා සිටියේය.
රේල් පාරේ වර්තමාන තත්ත්වය පැහැදිලි කලේ
අජිත් අප්පෝ නැගී සිටිමිනි.
“ලංකා දුම්රිය සේවය අධික පාඩු ලබන තත්ත්වයකට
පත් වෙලා තියෙනව අවාසනාවකට වගේ. මේ අවුරුද්දෙ විතරක් පාඩුව ලක්ෂම සීයක්! වැඩියක්ම
පාඩු වෙන්නෙ කැළණිවැලියෙන් කියලයි සදහන් වෙන්නෙ. මේ පාර රැකගන්ඩ තමා කොස්ගම තුනී
ලෑලි කර්මාන්තශාලාවට ලී අදින්ඩ සැලසුම් කලේ. ඒකත් සාර්ථක වුනේ නෑ. තමුන්නාන්සෙල
දන්නව ඇති අපි රත්නපුරේ විසාල සංවර්ධන වැඩ කොටසක් කරගෙන යනව. කළු ගඟ උඩින් තියෙන
යකඩ පාලම වෙනුවට දැවැන්ත කොන්ක්‍රීට් පාලමක් ඉදිවෙනව. ඒකෙ යකඩ පාලමේ වගේ නෙමෙයි
දෙපැත්තටම කාර් බස් එක පාරම යන්න පුළුවන්, නැවතිලා බලන් ඉන්න ඕනි නෑ. ඒ පාලම තව
අවුරුදු දෙහෙකින් විතර විවෘත වෙනව. දැනට ගංවතුරට යටවෙන පොලිසිය ලග තියෙන ලංගම
ස්ටෑන්ඩ් එක එතකොට කෝච්චි ස්ටේසමට යනව"
අජිත් අප්පෝගේ බලල මල්ලෙන් එළියට පැනීම සභාව
නොසන්සුන් කිරීමට හේතු විය.
"එතකොට අජිත් අප්පොත් එකඟද මේ තීරණේට?"
"කරන වැඩ ඔක්කොම සම්පාදනේ කරගෙන වගේ ඔබතුමාල
අපි ඉස්සරාට ඇවිත් ඉන්නෙ"
"රේල් පාර ගලවන්ඩ අත උස්සල ඊගාව පාර ඡන්දෙට
ගමට නං එන්ඩෙපා ඔබතුමාල"
"මම කීවෙ දැනට තියෙන තත්ත්වය ඔබ
තමුන්නාන්සෙලාට පැහැදිලි කරන්ඩ. රේල් පාර ගලවන්ඩ මගේ සහයෝගයක් හෝ සම්බන්ධයක් හෝ
නෑ. අපි මේකට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලලයි තියෙන්නෙ. තමුන්නාන්සෙලා නම් කරන
පිරිසකට ගැලරි ටිකට් සපයන්ඩත් මම කල්පනා කලා. අපි මේ පාර රැකගන්ඩ උත්සාහ
කරමු" අජිත් අප්පෝ පිලිතුරු බැන්ඳේය.
අජිත් අප්පෝ පොරොන්දු වූ පරිද්දෙන්ම
පාර්ලිමේන්තු විවාදය සදහා ගැලරි ටිකට් හයක් ලබා දුන්නේය. කුලසේකර මහතා විසින්ද
ටිකට් හයක් සම්පාදනය කිරීමට යෙදුනි. කැළණිවැලි දුම්රිය සංගමය නියෝජනය කරමින්
පියරත්න මහතාත්, ඉන්ද්‍රවංශ
හිමියන් සහ ඇන්තනි මහතා ඇතුළු නඩයක් ගමන සදහා සූදානම් වූහ. පිරිස කොළඹ ගියේ
කැළණිවැලි දුම්රියෙනි. ගමනට පෑ දහයක් පමණ ගත වන බැවින් කොල්ලුපිටියේ වාළුකාරාම
පංසලේ රෑ දෙකක් නවාතැන් ගැනීම සම්පාදනය කලේ ඉන්ද්‍රවංශ හිමියන්ය.
දෑල, රත්නපුර, ගැටහැත්ත, අවිස්සාවෙල්ල ඇතුළු දුම්රිය ස්ථාන සියල්ලක්ම
වාගේ තිබුනේ පාළුවට ගොස්ය. ගැටහැත්ත ස්ටේසම ඒ වනවිටත් වසා දමා තිබුනි. එකදු
දුම්රිය ස්ථානයක හෝ බඩු ගබඩා පාවිච්චි වෙන ආකාරයක් දක්නට නොවීය. පියරත මහතා ඇතුළු
පිරිස් ගමන්ගත් දුම්රියේ ලී බංකු ආසන බොහොමයක්ම හිස්ය. කෝච්චි පාරට සමාන්තර
මහාමාර්ගයේ අළුත්ම රට බස්, කෝච්චිය මෙන් දෙගුණයක
වේගයෙන් ධාවනය විය.
" ආං අර යන්නෙ රත්නාලෝක මුදලාලිගෙ අළුත්ම බස්
එකක්" නඩයේ එක් අයෙක් එලෙස පැවසුවේ මහ මඟ ධාවනය වූ කිරි පාට අළුත්ම බසයක්
පෙන්වමිනි. කලාතුරකින් රත්නපුරයෙන් එපිටට යන පියරත්න මහතාට ගමනාගමන දියුනුව ඇස්
අදහාගත නොහැකි තරම් විය.
කොළඹ ගාළු මුවදොර පාර්ලිමේන්තුවේ ගැලරිය
අතුරු සිදුරු නැතිව පිරී තිබිනි. රත්නපුර මන්ත්‍රි ගොල්ල හැමදෙනාම පාහේ
සභාවේ අසුන්ගෙන සිටියහ. සභාවේ කතාබහ ඉංග්‍රිසියෙන් නිසා කාටවත් එතරම් නිච්චියක්
නැත. අජිත් අප්පෝ හෝ සුනන්ද අප්පෝ කතා කරන බවක් පෙනෙන්නට නොවීය. අවසානයේ කෝච්චි
පාර ගලවන්නට සම්මත වූ බැව් ලග සිටිය පත්තර මහතෙක් පියරත්න මහතා ඇතුළු පිරිසට
පරිවර්තනය කර දුන්නේය. නඩය පසුවදා ගමට ආවේ කලකිරීමෙනි.
කටයුතු එසේ වුවත් පාර ගැලවුනේ නැත. කෝච්චිද යලට මහට මෙන් දිව්වේය. රත්නපුරයෙන් එපිටට කෙසේ වෙතත් වටාපත පැත්තේ අඩුවක් නැතිවම සෙනඟ සිටියහ.
අවසානයේ පාර ගලවන ආරංචිය ආවේ බක්මහ අකුණුත්
සමගය. දුම් රිය මාර්ගය වසා දමන බවට වූ දැන්වීමක් සියළුම දුම්රිය ස්ථාන වල සහ රේල්
කාර් නැවතුම්පල වල එක් උදෑසනක අලවා තිබිණි.
ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුව
මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි
1975 අප්‍රේල් 14 වන දින ඕපනායක-රත්නපුර අංක 961 දරණ මගී දුම්රිය
ධාවනයෙන් පසු එම මාර්ගය දුම්රිය ධාවන කටයුතු වසා දමනු ලැබේ. එයින් පසුව,
එම මාර්ග කොටස මාර්ග
සහ වැඩ උප දෙපාර්තමේන්තුව වෙත පවරනු ඇත.
අංක 960 දරණ රේල් කාර් රථය එදින ධාවනය නොවන බව
මහජනතාව සැලකිල්ලට ගත යුතුය.
අප්‍රේල් 14 වෙනිදා හෝ ඊට පෙර භාරදිය නොහැකි බඩු හා
පාර්සල් එදිනට පසුව ඕපනායක හා රත්නපුර අතර දුම්රිය ස්ථාන වලදී බාරගනු නොලැබේ.
දුම්රිය සේවක මණ්ඩලයේ භාණ්ඩ, උපකරණ ආදිය ප්‍රවාහනයට
විශේෂ දුම් රියක් 1975 අප්‍රේල් 20 වන දින
ධාවනය කරනු
ඇත.
අත්සන් කලේ;
දුම්රිය සාමාන්‍යාධිකාරී තැන.
දෙබරයට ගල් ගැසුවා සේ ගම ඇවිළුනේ ඉන් පසුවය.
රංචු පිටින් ඉස්ටේසන් අසල සෙනග රැස් කෑහ. කෝච්චි පාර ගලවතැයි කතා බස් ඇතිවී තිබුනද
එය කවදාවත් නොවන දෙයකැයි බොහෝ දෙනා සිතාගෙන සිටියෝය.
"රේල් පාරක් ගලවන්ඩ පුළුවන්ද එහෙම?"
බොහෝ අය සිතුවේ එවැන්නකි. දැන් ඒ අවසන්
රංගනයට දිනද නියම වී ඇත.
කැලණිවැලි දුම්රිය සංගමය වහා රැස් විය.
වෙනදා නොතිබූ උනන්දුවක් එදා විය. කෙසේ වෙතත්, රැස් වූ පිරිස අතර පැහැදිලි බෙදීමක් විය.
කොටසක්, කෝච්චි පාර
ගලවනවාට පක්ෂ වී සිටීම, පියරත්න
මහතාගේත්, ඉන්ද්‍රවංශ
හිමියන්ගේත් මහත් විමතියට හේතු විය. ඒ බහුතරය අත්තනායක මහතාගේ තේ වතු වල වැඩ කරන්
උදවියයි. කිසිදා නොදුටු, ආගන්තුක,
මැර මූණු කිහිපයක්ද ඒ
අතර විය. ඊට අමතරව, රේල් පාර
ගැලවූ පසු රිසවේසන් ඉඩම් අල්ලා ගැනීමට පිරිසක් ලක ලෑස්ති වී සිටියහ.
"මේ යලට මහට එන කෝච්චියෙන් අපිට වැඩක් නෑ.
අපිට ඕනි මේක තාර පාරක් වෙන්ඩ. බස් දුවන්ඩ. මේ පාරෙ බස්, බයිසිකල්, ලොරි, කාර් යන්ඩයි කියලද? ලෙඩෙක් ගිනියන්ඩ
කෝච්චිය එනකං උන්නොත් මෙතනදිම පණ යනව"
සභාවේ එවන් මතයක් නැගුනද, එයට වැඩි තැනක් ලැබුනේ
නැත.
"අපි උද්ගෝෂනයක් කරමු" බහුතර මතය ලෙස නැගී ආවේය.
අවසන් දුම්රිය අප්‍රේල් 14 වෙනිදා, ඒ අධික අවුරුද්දේ
සිංහල අළුත් අවුරුදුදා ධාවනය විය. උද්ඝෝෂණය ඇරඹුනේ අප්‍රේල් 15 වෙනිදාය. ඒ වනවිටත් 20 වෙනිදා දුම් රිය
ස්ථාන වල බඩු රැගෙන යන්නට පැමිණි දුම්රියත්, තවත් දුම්රිය කිහිපයකුත් ඕපනායක ගාල් කර
තිබිණි.
ඒවාට ආපසු යාමට නොහැකි වන ලෙස හුණුවල
දෙල්ගස් හන්දියේ රේල් පාර හරහා උණ බට හා පොල් අතු වලින් උද්ඝෝෂන මණ්ඩප්පයක් ඉදි
විය. කැලණිවැලි දුම්රිය සංගමයේ නිලධාරීහු එහි මුලින්ම වාඩි වූයේ පන් පැදුරු
එලාගෙනය. මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කලහ. සතියක් පුරා පැවති උද්ඝෝෂනය නැවතුනේ
බලංගොඩ දිසාපති තුමා පැමිණ කෝච්චි පාර නොගලවන බවට ලිඛිත ප්‍රකාශයක් දීමෙන්
අනතුරුය. ඒ සටන නිමවීමෙන් පසුවය, පියරත්න මහතාත්, ඉන්ද්‍රවංශ හිමියන් ඇතුළු පිරිසිත්, නිවිතිගල සිට අන්තිම
බසයෙන් එදා හැන්දෑවේ ගමට සැපත් වූයේ.
තෙහෙට්ටුවත්, අධික ගමන් මහන්සියත් නිසා පියරත්න මහතා
තදින්ම නින්දට වැටුනි. වේලාව මැදියම් රැය පසු වූවා පමණි. "ඩොක්" හඩින්
ගලක් පියඹා විත් නිවසේ ප්‍රධාන දොරටුවේ වැදුනි. ඒ සමගම, ගල් කිහිපයක් රට උළු වහලට වැටී පහලට රූටා
ගියේය. "ස්ලාංං" හඩින් ජනෙල් වීදුරුවක්ද බිදී ගියේය. "හූ"
හඩක්ද නැගී ආවේය.
"අඩෝව් නාකියා. ගෙදරට වෙලා තමන්ගෙ වැඩක්
බලාගෙන හිටපිය. කෝච්චි පාර ගැන අපි බලා ගන්නම්. හූ. අඩෝව් . හූ" තවත් කිහිප
දෙනෙක් කුණුසරුප කියා කෑ ගසනුද ඇසුනි.
ගුරු යුවල බය බිරාන්ත වී ගියහ. පියරත්න මහතා
විදුලි පන්දමක් දල්වා විපරම් කිරීමට උත්සාහ කලේය. විදුලි පන්දම් එළිය වඩින වදින
ජනෙල් වීදුරුවට ගල් පහර වැදුනි. විදුලි පන්දම් එළිය නිවා දමා ටික වේලාවකින් මිදුලේ
සිටි පිරිස විසිර ගියහ. ඈතින් හූ හඩත්, වීදුරු බිදෙන හඩත් ඇසුනි.
බය බිරාන්ත පැයක් පමණ ගෙවී ගියේය. අදුරේම
දුම්රියක තිරිංග හඩ ඉස්ටේසම දෙසින් ඇසුණි. දොරවල් අරිනු, වහනුද, බඩු මුට්ටු අදිනුද, කෑ කෝ ගසනුද ඇසිනි.
පියවතී ඉස්කෝලෙ හාමිනේ සිටියේ හැඩූ කඳුලිනි.
ගුරුයුවල නිදිවර්ජිතව රැයේ ඉතුරු දිගු අඩ ගෙවා දැමුවෝය.
හිමිදිරි උදෑසනම අඩ අදුරේ පිරික්සා බලනවිට
ගුරු යුවලගේ නිවසේ ඉදිරිපස දොර මැද්දෙන්ම ගල් පහරින් පුපුරා තිබුණි. බිදුනු වීදුරු
කටු, පොලවේ ගැසූ
මල් පෝච්චි හැම තැනමය. මැර කණ්ඩායමක් පන්සලටත්, ඇන්තනි මහතාගේ නිවසටත්, තව නිවෙස් කිහිපයකටත්
ගල් ගසා තිබුණි. ස්ටේසමේ දොරවල් ‘හායි’ ගා ඇර දමා තිබිණි. ඒ
තුල වූ බඩු මුට්ටු සියල්ල අතුරුදන්ය. පරණ ටිකට් කීපයක් සහ කඩදාසි බිම විසිර ඇත.
ගමම භීතියෙන් අලලා, ඉස්ටේසම අස්
කරගෙන ගොස් ඇත. ආරංචියේ හැටියට, රත්නපුර
දක්වාම වූ ස්ටේසම් අස් කරගෙන ගොස් ඇත්තේ දෙල්ගස් හන්දියේ වූ විරෝධතා මණ්ඩපයද ගලවා
විසිකර දමාය.
පියරත්න මහතාට දුකට වඩා දැනුනේ තරහකි.
හොදින් හෝ නරකින් තමන්ට වුවමනා දේ කරගන්නා දේශපාලන සම්ප්‍රදාය තමන්ව පරදවා ඇති බව
ඔහුට මැනවින් වැටහුණි. ට්‍රැක්ටරයක නැගී
අතවරයට පත් පිරිස නිවිතිගල පොලීසියට ගියේ මැර ප්‍රහාරය ගැන පැමිණිලි කිරීම
සදහාය. එමින් ගමන් අවනඩුව කියන්නට නිවිතිගල අජිත් අප්පොගේ බංගලාවට ගිය පිරිස
ගේට්ටුවෙන් හරවා යැවුනේ "අප්පෝ බංගලාවේ නෑ " කියාය. ඒත් අප්පොගේ කාරය
පෝටිකෝවේ නවතා තිබුණි.
හවස් වරුවේ පොලිස් ජීප් රියක් වටාපොතට
පැමිණියේය. අලාභ හානි නිරීක්ෂනයෙන් පසු පොලිස් ස්ථානාධිපති තුමා කීවේ හතරබීරි
කතාවකි.
"පියරත්න මහත්තය මේ පාර ගලවන වැඩේට බාධා
කරන්න යන්න එපා. අද ඉදල පාර ගලවනව කියල අපට දන්වල තිබෙනව. ඒ කෝච්චියටයි රේල්ලුවෙ
මහත්තුරුන්ටයි පොලිස් ආරක්ෂාව දෙන්න කියලත් මට ඉහලින්ම දන්වල තිබෙනව. මට තරාතිරම
බලන්න බෑ. මේ ඔබතුමාගෙම හොදටයි කියන්නෙ"
"ඒක හරි කතාවක්නේ ඕ. අයි.
සී මහත්තය. මේ
පාර ගලවන්න දෙන්න පුළුවනිද. අජිත් අප්පොයි, සුනන්ද අප්පොයි එක්ක කතා කලා.
පාර්ලිමේන්තුත් ගියා, උද්ඝෝෂන කලා.
මේ පාර ගලවන්න දෙන්නෙ නෑ කියල දිසාපති තුමා අත්සන් කරලත් දුන්නනෙ" ඉස්කෝලෙ
මහතා කතා කලේ ආවේගයනි.
"දිසාපති තුමාට මේක නවත්වන්න නෛතික බලයක් නෑ.
එතුමාගෙ ලියුම නිකම්ම
නිකම් කරදහියක් විතරයි. මේක කවුන්සලේ තීරණයක්. ඔබතුමාලාට කරන්න පුළුවන් දෙයක් නෑ.
බාධා කරන්න එපා. මම බලය පාවිච්චි කරන්න බැදිල ඉන්නව" ඕ අයි සී මහතා කීවේ තිර
හඩිනි.
කෝච්චි පාර ඕපනායක සිට ලහි ලහියේ ගැලවෙන බව
ආරංචි වූයේ පසුවදාමය. පාර ගිලගෙන එන
දුම්රියේ හඩ ඈතින් ඇසෙද්දී වටාපත ගැමියෝ රේල් පාරට රොක් වී උන්හ. වෙනදා පුංචි
කෝච්චිය රත්නපුරට ගෙන ගිය කළු පැහැති ඩීසල් එන්ජිමක් මහ සෙනගක් පෙරදැරිව පැමිණේ.
පියරත්න මහතා රේල් පාරේ වාඩි විය. "පාර ගලවනවනං අපේ මිනී උඩින් තමයි" .
තව පිරිසක් පියරත්න මහතා අනුකරණය කලහ.
බලාසිටියාක් මෙන් පොලිස් කණ්ඩායමක් ඕ.අයි.සී
මහතා සමග ඒ ස්ථානයට කඩා පාත් විය. "කරුණාකරලා බාධා කරන්න එපා.රේල් පාරෙන්
අයින් වෙන්ඩ හැවෝම"
පිරිසගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ මොහොතිනි.
හූවක් සමග මහා ඝෝෂාවක් ඇතිවිය. කොහෙන්දෝ පාත් වූ මුගුරු රැගත් මැර කණ්ඩායමක්
පිරිසට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. ඔළුවට වැදුනු පොලු පහරක් සමග සියල්ල
කළුවර වී යනු පියරත්න මහතාට මතකය.
*****
නැවත සිහි එලවෙන විට ඒ මහතා සිටියේ රත්නපුර
මහරෝහලේ ඇදක උඩුකුරුවය. එක් ඇසක්ද වැසී යන පරිදි හිසෙන් බාගයක්ම වෙලා ඇත. එක් අතක
සේලයින් කටුවකි, මුත්‍රා යන්නට
දැමූ බටයකි. බොඳවූ ඡායාවක දයාවතී ඉස්කෝලෙ නෝනා පෙනී සිටියාය.
"අපේ මහත්තය" ඉස්කෝලෙ හාමිනේගේ ස්වරය
හැඩුම්බරය.
පසුව දැනගත් පරිදි මැර ප්‍රහාරයෙන් පසුව
පියරත්න මහතාගේ හිසෙහි සැත්කමක්ද කර ඇත. ප්‍රහාරයෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල
ලබා සිටි අතර වැඩිම හානිය පියරත්න මහතාටය. ඉන්ද්‍රරවංශ හිමියෝ භික්ෂු වාට්ටුවේද,
ඇන්තනි මහතා වෙනත්
වාට්ටුවකද සිටියහ.
පියරත්න මහතා සිහි ලබා ඇත්තේ ප්‍රහාරයෙන්
දිනකට පසුය. සිය දියණියගේ හිතවත් වෛද්‍යවරුන්ගේ නොමඳ උත්සාහයෙන් ඔහුගේ දිවි රැකී
තිබිණි. දියණියගේත්, පුතාගෙත්, ඉස්කෝලෙ හාමිනේගේත් සාත්තුව
මැද මසක් පමණ රෝහලේ තපින්නට පියරත්න මහතාට සිදුවිය. පොලිසිය වරක් දෙවරක් ආවේය.
ගියේය.
දියණියගේ මෝටර රථයෙන් ටිකට් කපාගෙන නිවසට යන
පියරත්න මහතා මහ දිගට මහ වෙනස දුටුවේය. ගුඩ්ශෙඩ් හන්දියේ සිට රත්නපුර සද්ධර්මාලංකාර
පිරිවෙන දක්වා මහ පාරේ වම්පසින් පිහිටි දුම්රිය පාර ලකුණකුදු නොතබා අතුරුදන් වී
ගොස්ය. යෝනක වෙලෙන්දන් කිහිප දෙනෙක් රේල් පාරේ තැනූ පොල් අතු මඩු වල වෙලහෙලදම්
කරති. කළු ගග හරහා අලුත් කොන්ක්‍රිට් පාලමක් විවෘතව ඇත. තිරුවානාකැටිය හා දෑල රේල්
ගේට්ටු නැත.
වටාපත ඉස්ටේසමේ දොරවල් තඩි ඉබ්බන් දමා වසා
ඇත. ඉස්ටේසම හැර අන් කිසිවක් එහි නැත.
පියරත්න මහතා අතින් සන් කොට වටාපොත
ස්ටේසම හරස් පාර ගාවින් බැස්සේය. එහි හරස්පාරක් නැත. එකම එක යකඩ රේල් පීල්ලක්
ඉතිරිව ඇත. පාරේ තාරට ගිලා බැසීම නිසා ගලවා ගතනොහැකිව ඉතුරු වූ එකකි. ඉස්කෝලේ
මහත්තයා උක්කුටයෙන් වාඩිවී රේල් පීල්ලේ ඇඟිලි ස්පර්ෂ කලේය. කාශ්ඨක අවුවට රේල්
පීල්ල උනුසුම් වී තිබනි. පියරත්න මහත්තයාගේ ඇස් වලින්කඩා හැළුනු උණු කදුළු උණු
පීල්ලට යටින් නිහඩව පොලවට උරා බැස්සේය.
සත්‍ය කරුණු පදනම් කරගත් ප්‍රබන්ධයකි. සියළු
නම් ගම් මනඃකල්පිතය. උපුටා පලකිරීම
තහනම්.
©රසික වික්‍රමනායක
2021.1.13
Comments
Post a Comment