මතක මාවත ඔස්සේ 02: ඉස්ටයික්

88,89 වසර වල පාසල් පුරා ක්‍රියාත්මක වූ වර්ජන රැල්ලක් විය. විදුහල්පතිවරුන්ට සහ අද්‍යාපන බලධාරීන්ට පාලනය කල නොහැකි මට්ටමේ සිදුවීමක් වූ එය වන විට මම 6 වසරේ පාසලේ පහලම පන්තියේ සිසුවෙකි. මම විදුහලේ 6 වසරට ඇතුළු වූයේ 1988 වසරේය. මගේ මතකය නිවැරදි නම්, මේ වර්ජන සිද්ධිය ආරම්භ වූයේ 1988 අප්‍රේල් පාසල් නිවාඩුවට පසු වැසි සමයේය.

වර්ජනය අපි 'ඉස්ටයික්' කියා ඉංග්‍රීසියෙන් බිඳුනු වදනකින් හැඳින්වූයෙමු. එහි අරුත හෝ අරමුණ පිළිඹඳ නිසියාකාර වැටහීමක් අපට නොවීය. කෙසේ හෝ එදින පාසල් නොපැවැත්වෙන බවත්, වරුවකින් පමණ ගෙදර යා හැකි බවත් පමණක් දැන සිටි අතර, එම කාරණය කුඩා අපිව අමන්දානන්දයට පත් කලේය. රටෙහි පැවති අති මහත් වූ භීෂණකාරී වටපිටාවේ ගිණියම අපට නොදැනුනා කියන්නටද නොහැකිය. තැන තැන ටයර් සෑ මත දැවුණු සිරුරු, බිහිසුණු අපරාද පිලිඹඳ කට කතා මගේ සිතෙහි ඇතිකල වේදනාව තවමත් මතකයේ ඇත. රට පුරා භූමිතෙල් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් විය. හිටි අඩියේම නිල සහ නිල නොවන ඇඳිරි නීතිය පැනවේ. ප්‍රසිද්ධ පාලම් යටින් ගංගාවට එබී බැලූ විට කබරුන් ආදී සතුන් කා දැමූ, පාවී යන මලසිරුරු දැකීම උගහට නොවේ. ඇඹිලිපිටිය වැනි ප්‍රසිද්ධ පාසල් වල සිදුවුනු ඉතා වේදනාකාරී සිසු අතුරුදහන්වීම් සහ ඝාතන කියවන ඔබ නොදැන සිටීමට හේතුවක් නැත.


පාසල් උද්ඝෝෂණයක අවස්තාවක්. අන්තර්ජාලයෙනි

ඉස්ටැයික්පටන් ගන්නේ නාම ලේඛණය ලකුණු කිරීමෙන් පසුවය. පලමු කාල පරිච්ඡේදයත්, දෙවන කාල පරිච්ඡේදයත් අතර ඇති නම් ලකුණු කිරීමේ කෙටි කාල සීමාව අවසන් වූ විගසම මහ හඬින් රතිඥ්ඥා වැල් දැල්වේ. පාසලේ මහල් ගොඩනැඟිලි වල තරප්පු පෙල යට ඇති ඉඩෙහි රතිඥ්ඥා දැල් වූ විට 'දඩ දඩ දඩ' හඩින් ගොඩනැඟිලි දෙදරුම් කයි. ඇතැම් විට පාසලේ පිවිසුම් ශාලාව අසල ඇති කැන්ටිම පිහිටි බිම් මහලේද රතිඥ්ඥා දැල් වේ. රතිඥ්ඥා පිපිරීමෙන් පසු 'හූ' හඬක්ද නැඟී එයි. ලොකු පන්තිවල අයියලා පිරිසක් පන්ති ගානේ ගොස් 'කට්ටියම ග්‍රවුන්ඩ් එකට යන්න' කියති. අපි රංචු පිටින් ක්‍රීඩා පිටියට යන්නෙමු.

 ක්‍රීඩා පිටියේ කවුරුන් හෝ අත් අකුරින් ලියූ විරෝධතා පුවරු බෙදා දීම සිදුවේ. මේ විරෝධතා පුවරු වල බහුලවම ඇත්තේ එවකට ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාටත්, අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතාටත් විරුද්ධව ලියූ වැකිය. ඒවා මොනවාදැයි හරියටම කීමට මගේ මතකයේ නැත. ඊට අමතරව පාසල පිටුපස සිට සාදන ලද 'ජේ.ආර්' හෝ 'ප්‍රේමදාස' ලෙස ලියූ පඹයෙකුද විරෝධතාවයට එක් කෙරේ.

 ක්‍රීඩා පිටියේ විරෝධතා පාඨ කියමින් රවුමට යාම, 'ඉස්ටැයික් එක' සිදුවන සාමාන්‍ය පිලිවෙලයි. පැය කිහිපයක් එසේ රවුම් ගැසීමෙන් පසු, පාසලේ ක්‍රීඩා පිටිය කෙලවර ඇති මැයි ගසෙහි 'ජේ ආර් පඹයා' හෝ 'ප්‍රේමදාස පඹයා' එල්ලා ගල් මුල් වලින් පහර දී ගිණි තැබීමෙන් වර්ජනයේ කූටප්‍රාප්තිය එලඹේ. ඇතැම් විට උණ බටයක කෙලවරක රතිඥ්ඥයක් දවටා පඹයා දෙසට එල්ලකර දැල්වීමෙන් 'වෙඩි තැබීමක්ද' නිරූපණය කෙරේ. පාසලම එක 'මතයක' සිට උද්ඝෝෂණයට එක් වන විට එහි ඇති අමානුෂික ස්වභාවය තෙරුම් ගෙන ඊට එලිපිටම විරෝධය පෑ සිසුන් නොසිටියා නොවේ. ඇත්ත වශයෙන්ම මානව හිතවාදීන් ලෙස සැලකිය යුතු ඔවුන්ට එකල එල්ල වූයේ නින්දා සහ පරිභවයි. එලෙසම එක්සත් ජාතික පක්ෂ මතය පිලිගත් සිසුන්ද නොවූයේ නොවේ. මේ උද්ඝෝශණය පැවැත්වෙන ඇතැම් විට මහ වැසි ඇද හැලේ. පෙලපාලිය වැස්සට තෙමෙමින් රවුමට යයි. දහවල 12 පමණ විට පෙලපාලිය සමාප්ත වන අතර, ඉන් පසු පන්ති කාමර වල ඉගෙන ගැනීමට සුදුසු ශාරීරික හා මානසික තත්ත්වයක නොමැති නිසා පාසල අවසාන කිරීමට සීනුව නාද කිරීම බොහෝ විට සිදුවේ. ඇතැම්විට , ඉතිරි කාල පරිච්ඡේද සඳහා ඉගැන්වීම් කටයුතු සිදුවෙතත්, ඒ ඉතාම කලාතුරකිනි.

මේ වැඩපිලිවෙල සැමදාම සිදුවන්නේද නැත. ඇතැම් දිනවල රතිඥ්ඥා හඬට හෝ 'හූවකට' උද්ඝෝෂණය ආරම්භ කල නොහැක. රතිඥ්ඥා හඬ වියැකී පන්ති කාමර වල වැඩ පිලිවෙල සාමාන්‍ය පරිදි සිදුවන දිනද ඇත.

මේ කාලය පාසලෙහි දිවා ආහාරය ලෙස බනිස් සහ කිරි පැකට් දෙන කාලයයි. උද්ඝෝෂණ පැවැත්වෙන දින වල පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය සහභාගීත්වය අඩුය. උද්ඝෝෂණය ඇරඹි පැයකින් පමණ අසල ගම් වල ලමුන් නිවෙස් කරා පල්ලම් බසිති. එවිට කිරිපැකට් සහ බනිස් අතිරික්ත වේ. කා බී අවසන් කිරීමට නොහැකි තරම් ආහාර පාසලේ රැඳී සිටින ලමුන්ට ලැබේ. ඇතැම් අවස්තාවලදී පාසලේ තාප්පය උඩින් බිස්කට් පැකට් සහ රතිඥ්ඥා රෝල් ආදියද 'විසිවේ'. උද්ඝෝෂණයට බාහිරින් පෙලඹවීම් සහ උපකාර ඇති බවට එය පැහැදිලි උදාහරණයකි.

 අපේ පාසලේ හෝ අවට පාසල් වල මෙවන් තත්ත්වයක් ඇති විට පාසල් මාවත දිගේ පොලිස් භටයන් රැඳී සිටී. ඔවුන් රැඳී සිටින්නේ පාසලෙන් පැන යන වුන් 'අත් අඩංගුවට ගන්නට' යැයි භීතියක් පැතිරීම නිසා, අපට පාසලෙන් බැහැර වීමට චකිතයක් විය. පාසලේ සම වයසේ සිසුන්ගෙන් වාහනයක පාසල් පැමිණීමේ වාසනාව වූයෙ එහෙමත් අයෙකුටය. අපේ පංතියේම සිටි තිලක් පාසල් පැමිණියේ පියාට අයත් 'ෆියට් මිලිසෙන්ටෝ' රියකිනි. අපි ඇතැම් විට ටවුම දක්වා මේ 'ඉබි ෆියට්' කාරයේ නැඟ ටවුමට එන්නෙමු. පස් දෙනෙක් පමණක් යා හැකි රියේ දහයක් පමණ රිංගාගෙන යන්නෙමු. (මේ මෝටර් රතය තිලක්ගේ නිවසේ තවමත් අබලන් තත්ත්වයේ ඇත )


තිලක්ගේ නිවසේ ඇති 'ෆියට් මිලිසෙන්ටෝ' රතය

 මෙලෙස උද්ඝෝෂණයට රතිඥ්ඥා දැල්වුන දිනක, අපි පාසලෙන් දුවවිත් ෆියටයේ නැඟී ටවුමට විත් ගෙදර ආවෙමු. අපගේ අවාසනාවට එදින උද්ඝෝෂණය සාර්ථක වී නැත. එබැවින් අප පාසලෙන් හොරෙන් පැන ගිය ලමුන් කුලකයකට ඇතුලත්ව සිටි බව දැනගත්තේ පසු දින පාසල් ගිය පසුවය. පාසලෙන් එලවා දමාවි යන භීතිකාවක් වුවත් අත්ල හරහා වැරෙන් වැදුණු එරබදු කෝටු පහරකට දඬුවම සීමා විය.

©රසික වික්‍රමනායක 2021.8.10


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ