කිලිනොච්චි ගමන

 

මෙම සටහන, මීට පෙර ලියා පලකරන ලද 'පුල්මුඩේ' ගමන හා බැඳේ. එබැවින් එය කියවා නැත්නම් කියවා බලන ලෙස ඉල්ලමි. වාහනයද, පිරිවරද, කාල රාමුවද එකමය. ගමන් දෙක අතර තෙමසක පමණ කාල පරාසයක් විය.

පුල්මුඩේ ගමන (rasikasanjeewa.blogspot.com)

කිලිනොච්චියට යාමට අප පිටත් වූයේ 2004 වසරේ දැනට අමතක එක් දිනයකය. අප ගමන් සිදු කලේ පියවර දෙකකිනි. පලමුව වවුනියාව දක්වා ගමන් ගත් අප, එහි නවාතැන් සපයන ස්තානයක රාත්‍රිය ගතකලෙමු. පසුවදා උදේ හතට පමණ කිලිනොච්චිය කරා යන ගමන පටන් ගත්තෙමු. ඒ වන විට සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, වවුනියා නගරයේ හරි අඩක පාලනය පැවතියේ එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව බව මගේ මතකයේ ඇත. වවුනියාව රෝහල හා පොලීසිය පිහිටි දකුණු පස නගරය හමුදා පාලනයේ පැවති අතර වම්පස නගරය එල්.ටී.ටී.ඊ පාලනයක් විය. එහි එම සංවිධානයේ කාර්යාල සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල කාර්යාලද බහුලව විය. පලමුව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, ඉන්පසුව පොලිසිය සහ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන වෙතටත් ගිය අප අවශ්‍ය අවසර පත් හා ලියකියවිලි ලබාගතිමු. රජයේ වාහනයක යන රාජකාරි ගමනක් නිසා එතරම් අපහසුතාවයක් නොමැතිව එම කටයුතු සිදු විය. ඉන් අනතුරුව, අප වවුනියාවේ එල්.ටී.ටී.ඊ කාර්යාලයට ගියේ එහි සිට අපගේ ගමනට සම්බන්ධ වන නිලධාරියා රතයට නංවා ගැනීම සඳහාය. ජයරත්න මහතා ඔහුට රියෙහි ඉදිරිපස අසුන දී පිටුපස අසුනට ආවේය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අපගේ ගමනට එක්වූ පුද්ගලයාගේ නම දැන් මට මතක නැත. කෙසේ වෙතත් ඔහු පැසුනු කොණ්ඩයක්ද, කාල වර්ණ සිරිරක්ද හිමි හීන්දෑරි, කෙසඟ පුද්ගලයෙකි. ඔහු සතුව අපගේ ගමනට එම සංවිධානයෙන් නිකුත් කල 'ප්‍රභූ ගමන් අවසර පත්‍රයක් (VIP pass)' විය. එම අවසර පත්‍රය රෝස පැහැති A4 වර්ගයේ කොලයක, රෝනියෝ මුද්‍රණය කර දෙමල භාෂාවෙන් අපගේ නම් සහ රියෙහි අංකය සටහන් කර තිබුණි. රජයේ පාලන පෙදෙස් පසුවන තුරු, ඔහු එය රියෙහි බෑගයක් තුල සඟවා තැබුවේය.

එකල ඕමන්තේ මුරපොල පසුකර උතුරට යන වාහනත්, උතුරේ සිට දකුණට එන වාහනත් දැඩි පරීක්ෂාවකට ලක් විය. ලොරි ආදියෙහි බඩු භාන්ඩ සම්පූර්ණයෙන්ම බිමට බා පරීක්ෂා කිරීම සිදුවිය. මෙහිදීද, අපගේ රිය පරීක්ෂාවට භාජනය වූයේ අල්ප වශයෙනි. රජයේ වාහනයක් නිසා, අපගේ විස්තර සටහන් තබා ගැනීමත්, රියෙහි යට පැත්ත උත්තල දර්පණයක් මඟින් පරීක්ෂා කිරීමත් සිදු විය.  ඕමන්තේ හමුදා මුරපොලත්, එල්.ටී.ටී.ඊ මුරපොලත් අතර, යුධ මුක්ත කලාපයක් විය. එල්.ටී.ටී.ඊ මුරපොලද එතරම බාදාවකින් තොරව අපට ඉඩ දුන්නේය.

එතනින් එපිටට මගේ පලමු ගමන එය විය. ඇතැමුන් එලිපිටම පෙනී සිටි තමිල් ඊලාම් දේශය යැයි සැලකුණු බිම් කඩ අපගේ දෑස් ඉදිරියේ විය. මෙතෙක් නිහඬව සිටි එල්.ටී.ටී.ඊ නියෝජිතයා සඟවා සිටි VIP ගමන් අවසර පත ඉදිරි පස වීදුරුවේ ඇතුලතින් ඇලෙව්වේය. ඒ වන විට A9 මාර්ගයේ මුල් කොටස නැවත සංවර්ධනය ඇරඹී තිබුණි. ගිනි අවුවේ දාඩිය පෙරාගෙන කම්කරුවන් එහි වැඩ කරමින් සිටියහ. මඟ දිගටම ලා සහ තද නිල් පැහැති නිල ඇඳුම් ඇඟලා ගත් එල්.ටී.ටී.ඊ පොලිස් භටයෝ රැක සිටියහ. අපගේ රිය පැයට කිලෝමීටර් 60 ක පමණ වේගයෙන් ධාවනය වූ අතර එය ඔවුන්ගේ අඩවියේ අධික වෙගයකි. එබැවින් වේග මාපක දිගු කරගෙන සිටි පොලිස් භටයෝ සෑම තැනකදීම අපට රිය නවත්වන මෙන් සන් කලහ. වීදුරුවේ ඇති අවසර පත්‍රය දුටු සැනින් යෑමට අවසර දුන්හ. මේ 'කරදරයටික දුරකදි අවසන් විය. මා දැන ගත් පරිදි, අපගේ වාහනයේ සහ මඟීන්ගේ තොරතුරු ඉදිරි භට පිරිස් වෙත දන්වා යවා ඇත. ඉන් ඉදිරියට කිසිම ස්තානයක අපගේ රිය නැවැත්වූයේ නැත. දහවල් 1 පමණ වන විට අප කිලිනොච්චියට ලඟා වීමු. 

කිලිනොච්චියේ මහවිරු සොහොන් පිටිය. 2006 වසරේදී පමණ. අන්තර්ජාල සේයාරුවකි.

කිලිනොච්චිය ඒ වන විටත් අතිශයින්ම කාර්ය බහුල නගරයකි. යාපනය රජයේ පාලනය යටතේ පැවතීම නිසා, ඒ වන විට එල්.ටී.ටී.ඊ සිහින අගනුවර බවට පත්ව තිබුණේ කිලිනොච්චියයි. පාසල්, රජයේ කාර්යාල, එල්.ටී.ටී.ඊ පොලිසි සහ උසාවි, කඩ පිල් කාර්ය බහුලව පැවතුණි. මංසන්ධි වල එල්.ටී.ටී.ඊ පොලිස් භටයෝ රත වාහන හසුරවමින් සිටියහ.  අප කිලිනොච්චියේ සිට අලිමංකඩ දෙසට මද දුරක් ගොස් දකුණට හැරුණු කෙටි මාවත ගොස්, එල්.ටී.ටී.ඊ ක්‍රීඩා අංශ ගොඩනැඟිල්ලට පිවිසියෙමු. අලුතෙන් ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වූ එහි, ක්‍රීඩා අංශයේ ප්‍රදානියා වූ 'පාපා' නැමැත්තාත්, ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර එදිරිවීරසිංහම් නැමැත්තාත් අප පිලිගන්නට රැඳී සිටියහ. එදිරිවීරසිංහම් මහතා, දිස්ත්‍රික් ලේකම්වරයෙකු වශයෙන් සිට විශ්‍රාම ගොස් සිටි අයෙකි. දහවල් ආහාරයද එහිම පිලියෙල කර තිබුණේය.

ආහාරයෙන් පසු අප ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කලෙමු. සවස් යාමයේ ක්‍රීඩා පිටි ඉඳිකීරීම සඳහා යෝජිත භූමිබාග තුනක නිරීක්ෂන කටයුතු සැලසුම් කර තිබුණේය. එකක් කිලිනොච්චියේය; තවත් ස්තානයක් පිහිටියේ පරන්තන්හිය. අවසාන ක්‍රීඩා පිටිය සැලසුම්ව තිබුණේ විශ්වමඩු ප්‍රදේශයේය. ආහාර නිමවා පැයක පමණ විවේකයකින් පසු අප මෙම ස්තාන නිරීක්ෂනය සඳහා පිටත් වූයෙමු. පාපා, ආරක්ෂක නිලධාරීන් පිරිවරා ඩබල් කැබ් රියකින් අපට පෙරගමන් සැපයූ අතර එදිරිවීරසිංහම් මහතා අපගේ රියට ගොඩ විය. ඒ මහතා ඉතා ඉහල උගත් කමකින් යුතු, කාරුණික පුද්ගලයෙකු වූ බව මට හොඳින් මතක තිබේ. කෙසේ නමුත් ඔහුගේ හැම වදනකම ඊලාම් සිහිනය ගැබ්ව තිබුණි. වවුනියාවේ සිට අප සමඟ ආ එල්.ටී.ටී.ඊ නියෝජිතයා ක්ෂේත්‍ර චාරිකාවට එක් වූයේ නැත. 

ක්ෂේත්‍ර චාරිකාවේදී අප විසින් සිදුකරණු ලබන්නේ අදාල පෙදෙස සේයාරුවට නඟා ගැනීම, අදාල ආයතන වල ඉල්ලීම් ලැයිස්තු ගත කර ගැනීම සහ අවශ්‍ය මිනුම් කටයුතු සිදු කර භූමියේ දල සැකැස්ම නිරීක්ෂණය කිරීමයි. ඒ තාක්ෂණික කරුණු වැඩිමනත් මෙහි සඳහන් නොකරමි.

 එල්.ටී.ටී.ඊ ක්‍රීඩා අංශ ප්‍රධානී පාපා ඇන්ටන් බාලසිංහම් ගේ 'විඩුතලයි' කෘතියේ මුල් පිටපත එවකට යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මොහාන්දාස්ට පිලිගන්වමින්. සේයාරුව ටැමිල්නෙට්.

පාපාගේ පිරිවර අපට 'සැලකිලි' දැක්වීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් කී ඇතැම් 'අවකැපෙන' කතා වලට රියදුරාත් මමත් දෙමලින් උත්තර බැඳි පසු ඔවුන්ට නිහඬව සිටින ලෙස පාපා සන් කලේය. ඒ වන විට කිලිනොච්චිය පුරා වූයේ වෙනම රාජ්‍යයක ලක්ෂණයි. කොටි කෙල්ලන් හා කොල්ලන් රැගත් බස් රථ පාරේ ඔබ මොබ යයි. හන්දියක් පාසා කැලෑ ඇඳුම ඇඟලා රබර් සෙරෙප්පු ලා ගත් එල්.ටී.ටී.ඊ සොල්දාදුවන් මුර සේවයේය. පොලිතින් සහ ලී යොදා සැකසූ මහවිරු ස්මාරක බොහෝ තැන් වල විය. නාම පුවරු වල සිංහල බස නැත. බොහොමයක් වූයේ '' අකුර ගැසූ වාහනය. නියඟලා මලේ කහ සහ රතු පැහැ තුන් හුලස් කොඩි වැල් නොමැති තැනක් නැත. කිලිනොච්චියේ ප්‍රධාන ධාරාවේ විදුලිය නොමැති බැවින්, ජෙනරේටර විදුලිය සපයා තිබුණේ ලී කණු ඔස්සේය.

අප නිරීක්ෂණයට කිරීමට ගිය ක්‍රීඩා පිටි බොහොමයක්ම ඒ කාර්යය සඳහා උචිත ඒවා වූයේ නැත. ඇතැම් ස්තානයක බිම් බෝම්බ ඇති බවට දැක්වෙන සලකුණු විය, ඇතැම් තැනක ගැඹුරට හෑරූ වලවල්ය, නැතහොත් භූමිය පැතලි නැත. සුදුසු ඉඩක් වූයේ කිලිනොච්චියට යෝජිත ස්තානයේ පමණි. මම ඒ බව එදිරිවීරසිංහම් මහතාට පැවසූ විට 'සංවිධානය' බිම සැකසීම ආදී කටයුතු සිදු කරන බව පැවසීය, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඇත්දැයි විමසූ විට එතුමා සිනහවක් පා නිහඬ විය. අප ගිය සෑම ස්තානයකටම රජයේ දිසාපතිවරු පැමිණියහ. ඔවුන්ට රජයෙන් සපයා තිබූ රන් කහ පැහැති ඩබල් කැබ් රත වල රාජ්‍ය ලාංඡනය දක්නට විය.


යුද්ධයෙන් පසු නැවත ඉඳි වූ කිලිනොච්චි දුම්රිය ස්තානය. (අන්තර්ජාලයෙනි)

පිලිවෙලින් කිලිනොච්චිය, පරන්තන් සහ විශ්වමඩු වෙත ගිය අපි, කරුණු කාරණා සහ අදාල තොරතුරු සටහන් කරගෙන ආපසු එන්නට පිටත් වූයෙමු. කිසිම ස්තානයක මිනින්දෝරු සිතියම් සකස් කර තිබුනේ නැත. ඒවා ලබාදීමටද දිසාපතිවරු එකඟ වූහ. ආපසු එන ගමනේදී වෑන් රිය කිසියම් ආබාදයකට ලක්විය. එය පිලිසකර කරන තුරු අප රැඳීමට වශ්‍ය නැති බව පැවසූ දිසාපති වරයා ඔහුගේ රිය සහ රියදුරා අපට ලබා දී පාපැදියක නැඟී නිවස බලා පිටත් විය.

අපට නවතැන් ගැනීමට සකසා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය "ඊලාම් තන්ඩ්‍රල් රෙස්ට්" නැමති නිකේතනයේ උඩු මහලේය. ජයරත්න මහතාටත් මටත් වෙන් වෙන්ව කාමර දෙකක් සම්පාදනය කර තිබිණි. අපි ඒවාට ගොස් ඇඳුම් මාරු කර ගතිමු. ස්නානයට උණු වතුර පහසුකම් පවා එහි විය. වායු සමීපකරණ පහසුකම නොමැති වූයේ ජෙනරේටර් මඟින් ලබා දෙන විදුලි බලය ඒ සඳහා ප්‍රමාණවත් නොමැති වීමයි.  ඒ වනවිට සවස පහට පමණ විය. රාත්‍රිය එලඹීමට වෙලාව පැවති හෙයින්, අප කිලිනොච්චියේ නැරඹීමට කැමති ස්තානයක් වීනම් එහි කැඳවාගෙන යාමට හැකි බව පාපා පැවසීය. කිලිනොච්චියේ දුම් රිය ස්තානය පිහිටියේ අප සිටි හෝටලයට පිටුපසිනි.  උග්‍ර දුම්රිය ලෝලියෙකු වූ මට එහි යාම අවශ්‍ය වුවත්, බිම්බෝම්බ වලලා ඇති බැවින් එහි යෑමට මට අවසර හිමි වූයේ නැත. මම කිලිනොච්චියේ මහ විරු සුසානය නැරඹීමට කැමති බව පැවසුවෙමි. ජයරත්න මහතා විඩාවට පත්ව සිටි හෙයින් මම පාපා සමඟ ඔහුගේ කැබ් රියේ ඒ ගමන ගියෙමි.

කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ සොහොන් බිම පිහිටියේ කනකපුරම් ප්‍රදේශයේය. එය වටා යකඩ ග්‍රිල් වැටක් සහ ප්‍රවේශ තොරණක් විය. මැද පිහිටි කොඩි කණුවක ශබ්ද විකාශන යන්ත්‍රයක් මඟින් රණ විරු ගී විකාශනය විය. කාන්තාවන් කිහිප දෙනෙක් සොහොන් වල පහන් දැල්වීමට පැමිණ සිටියහ. එක් මාතාවක් ඉකිලමින් හඬමින් සිටි හැටිද මට මතකය. සාම්ප්‍රදායුනුකූලව ඒ සොහොන් පිටියට පිවිසිය යුත්තේ පාවහන් නොමැතිවය. මමද ඒ සිරිත අනුගමය කලෙමි. සොහොන් පිටිය පුරා විවිධාකාරයේ සොහොන් රැසක් විය. සිමෙන්තියෙන් නිමවූ විශාල හොහොන්ද, කුඩා සමරු පලකද,සොහොන් කොත් ඉඳි නොකල මිනී වලවල්ද ඒ අතර විය. මම පාපාගෙන් ඒ පිළිඹඳව විමසා සිටියෙමි. කුඩා සොහොන් කොත් ආදාහනය කර අළු තැන්පත් කල හෝ මල සිරුරු හමු නොවූ අයගේ බවද, පස් ගොඩවල් අළුත් භූමදාන බවද, ස්මාරක තනන්නේ එම පස් ගොඩවල් වසර දෙකක් පසු කල පසුව බවද පාපා මට පැහැදිලි කර දුන්නේය. මා නොරුස්නා ගතියෙන් සිටි පාපා, ඉන් අනතුරුව එම නොරුස්නා ගතිය පෙන්වූයේ නැත. තමන්ට සොහොයුරෙක් සිටිබවත්, ඔහු යුද්ධයෙන් මිය ගිය බවත් පැවසූ ඔහු, ඒ සොහොන වෙතද මා කැඳවාගෙන ගියේය. පාපාගේ සොහොයුරා මියගොස් ඇත්තේ 1996 වසරේදී බවද මට මතක ඇත.

එදින රාත්‍රියේ අපි 'ඊලාම් තන්ඩ්‍රාල් රෙස්ට්' හි ගතකලෙමු. එහි අවන්හලේ අප වෙනුවෙන් විශේෂ කෑම මේසයක් පිලියෙල කර තිබුණි. රෝස්ට් කල කුකුල් පැටවුන්, ෆර්යිඩ් රයිස්, චොප්සි ආදී කෑමත්, තල් බීරද එහි විය. අප මෙන්ම කිලිනොච්චියේ පවත්වාගෙන ගිය විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්ද ආහාර ගැනීම සඳහා එහි පැමිණ සිටියහ. පාපාද අප සමඟ ආහාර ගැනීම්ට එක් විය. ඉන්පසුව ඔහු අපට මුණ ගැසුනේ නැත. (එල්.ටී.ටී.ඊ ක්‍රීඩා අංශ ප්‍රධානී පාපා සිවිල් යුද්ධය අවසානයේ හමුදාවට භාර වී පුනරුත්ථාපනය වූ බව සඳහන්) කිලිනොච්චියේ විදුලිය ඒ දිනවල රාත්‍රී 9 ට විසන්ධි වේ. ඊට පෙර නින්දට යාම හෝ ඉටිපන්දම් එලියෙන් විසීම තෝරා ගත යුතුය. අධික වෙහෙසින් සිටි අපි කඩිනමින්ම නින්දට වැටුනෙමු. අපගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ එල්.ටී.ටී.ඊ භටයෙක් දොරකඩ සිටියේය.

පසුදා උදෑසන අප ආපසු එන ගමනට අප සමඟ කිලිනොච්චියට ගිය නියෝජිතයා නැවත පැමිණියේය. අප එදින උදෑසන ආහාර ගත්තේ කිලිනොච්චිය නගරයේම අවන්හලකිනි. එහි සේවයේ යෙදී සිටියේ හමුදා කලිසමක් සහ කොටු අත් දිග කමීස හැඳ ලැමට යටින් පටියක් බැඳ සිටි එල්.ටී.ටී.ඊ සෙබලියන්ය. අපි ඉඳි ආප්ප සහ පරිප්පු ආහාරයට ගතිමු. එය ප්‍රභාකරන්ට පුද්ගලිකව අයත් අවන් හලකියි කසුකුසුවක් රියදුරා ගෙනහැර පෑවේය. එය ඇත්තක්දැයි අපි නොදත්තෙමු. අපගේ විස්තර අසා සිටි හෝටලයේ අයකැමි තැන අපගෙන් මුදල් ගැනීම අනවශ්‍ය බව ඉහලින් දන්වා ඇතැයි කීවේය.

අප නැවතත් ආ මගෙහිම වවුනියාව දක්වා පැමිණියෙමු. ඒ එන මඟෙහි එක් සිදුවීමක් තවමත් ඉතා සුපැහැදිලිව මගේ මතකයේ ඇත.

ආපසු එන මඟ මාන්කුලම් මංසන්ධියේ විසිතුරු බඩු, සුලු කෑම සහ උතුරේ ආහාර නිශ්පාදන අලෙවි කරන කඩ පිලක් විය. එහි එක් වය්සක මාතාවක් රටක්ජු විකුනමින් සිටියාය. "අම්මා, රටකජු කීයද?" මම දෙමලින් ඇසුවෙමි. ඇය ඉතා කාරුණික සිනහවක් පා, රටක්ජු මල්ලක්ම මා අත තැබුවාය. මුදල් ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කලාය. කොතරම් පෙරැත්ත කලත් ඈ මුදල් ගත්තේ නැත. මම ඇයට ආචාර කර පිටත්ව ආවෙමි. රියදුරු මෙය දැක විමසා බැලූ විට දැන ගෙන ඇත්තේ ඇගේ එකම පුතා එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳී යුද්ධයෙන් මිය ගොස් ඇති බවත්, ඇයට 'අම්මා' යනුවෙන් අමතන කිසිවෙකුගෙන් ඈ මුදල් බාර නොගන්නා බවත් ය. 

කාලය ගෙවී ගියේය. අදාල මිනින්දෝරු සැලසුම් මසකින් පමණ අපට ලැබුණි. ඒවා පදනම් කරගෙන සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කල අප, ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දුනිමු. ඉන් එහාට අපගේ සම්බන්දයක් නැත. ඉඳිකිරීම් ආදිය අධීක්ෂණය වන්නේ ජයරත්න මහතා හරහාය. යම් ගැටළුකාරී අවස්තාවක් වේ නම් එතුමා අප සම්බන්ධ කර ගනී.

තව ටික කලක් ගෙවී ගියේය. මා සේවය කල කාර්යාලය පිහිටියේ කිරුලපනය. තෙමහල් කාර්යාල ගොඩනැඟිල්ලේ බිම් මහල පිලිගැනීමේ නිලධාරිනියටත්, සාකච්ඡා සඳහා හා ආහාර ගැනීම සඳහා වූ මේසයක් සහ තේ ආදිය සෑදීම සඳහා වූ පහසුකම් සඳහා වෙන් විය. මම කොහේ හෝ ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් පැමිණ ප්‍රමාද වී දිවා ආහාරය ගනිමින් සිටියෙමි.

අපේ ගමනට වවුනියාවෙන් එක් වූ එල්.ටී.ටී.ඊ නියෝජිතයා සහ එදිරිවීරසිංහම් මහතා හිටි හැටියේ කාර්යාලයට කඩා පාත් විය. මම ආහාර ගෙන අවසන් වී ඔවුන් පැමිණි කාරණය විමසා සිටියෙමි. කිලිනොච්චියේ සැලසුම් කල ක්‍රීඩා පිටි වල සැලසුම් සහ ඇස්තමෙන්තු පිටපත් ඔවුන්ට අවශ්‍ය වී තිබුණි.

අපගේ ගිවිසුම වූයේ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ මිස, අවසන් සේවාලාභීන් (end users) සමඟ නොවේ. මම ආයතනයේ ප්‍රධානියාට දැන් වූ විට, අප ජයරත්න මහතා සම්බන්ධ කර ගතිමු. එතුමා පවසා සිටියේ සැලසුම් පිටපත් අමාත්‍යාංශයේ ඇතත්, ඒවා තවමත් ඉඳිකිරීම් සඳහා අනුමත නොමැති හෙයින් එතුමාට ඒවා එදිරිවීරසිංහම් මහතාට ලබා දීමට නොහැකි බවයි. අප විසින් පිටපතක් ලබා දීම ගැටළුවක් නොවන බවත්, පැහැදිලිව 'ඉඳිකිරීම් පිණිස නොවේ (Not for Construction)' යනුවෙන් සඳහන් කර ලබාදෙන ලෙසත් ය. මම ඒ බව පැමිණ සිටි නියෝජිතයන්ට දැන්වූ විට, ඔවුන් ඒ සඳහා එකඟ විය. පිටපත් සඳහා මුද්‍රණ ගාස්තු ලබා ගැනීමට මට උවමනා විය. ඒ වන විට, රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර හොඳ හිට පළුදු වී 'ත්‍රස්ත භීතිකාව' ඇරඹෙමින් තිබුණි. එබැවින් කාර්යාලයට අවශ්‍ය වූයේ ඔවුන් එහි පැමිණීම අවම කිරීමයි. කෙසේ හෝ රුපියල් ලක්ෂයක් ඇස්තමෙනතුවක් සමඟ එය ලබා ගත හැකි දිනයක් මම දැන්වූයෙමි. එදිරිවීරසිංහම් මහතා අපගෙන් සමුගෙන පිටත්ව ගියේය.

එදිරිවීරසිංහම් ගේ සහ අනෙක් පුද්ගලයාගේ ආගමනය කාර්යාලය තුල ඇති කලේ කැලඹීමකි. එල්.ටී.ටී.ඊ ය දකුණේ ඇති කර තිබූ භීෂණය අපේ කාර්යාලයටත් කාන්දු නොවුනානම් තමා, පුදුමය. මුදල් නොගෙන හෝ ඔවුන්ගෙන් ගැලවීම සුදුසු යැයි ඇතමෙක්ගේ මතය විය.

නියමිත දිනට නියෝජිතයා පැමිණියේය. මම සැලසුම් සහ ඇස්තමේන්තු රෝලක් මුද්‍රණය කර තැබුවෙමි. මුදල් ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබුණත්, විවිධාකාරයේ නෝට්ටු මිටියක්ම ගෙනැවිත් තිබුණේ ලක්ෂයක එකතුවක් එන ලෙසය. ඉන් පසු ඔවුන් හා කිසිදු සබඳතාවයක් නොවීය. ඒ සැලසුම් වලින් අරමුදල් සම්පාදනය හෝ වෙනත් වැඩක් කරගන්නට ඇත. "තමුසෙ කොටින්ගෙනුත් ෆීස් ගත්තනෙ" ආයතන ප්‍රදානියා කීවේය.


කිලිනොච්චි නගරය, 2010 පෙබරවාරි මාසයේදී.

ඊට වසර ගනනාවකට පසු, යුද්ධය අවසන් වූ 2009 වසරේම මම එක්සත් ජාතීන්ගේ ලමා අරමුදලට බැඳුනෙමි. කිලිනොච්චිය නැවත ගොඩනඟන්නට පෙර, එහි ගිය මුල්ම කන්ඩායමට මම ඇතුලත් වීමි. නගරය එකම සුන්බුන් ගොඩක්ව පැවතුණි. ඊලාම් තන්ඩ්‍රල් රෙස්ට් හි බිත්ති කිහිපයක් ඉතිරිව තිබුණි. මාන්කුලම් හි අම්මා පිලිඹඳව විමසා බැලුවත් ඈ ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට බැරි විට. 2012 වසරේ යුනිසෙෆ් ආධාර යටතේ කිලිනොච්චිය මහා විද්‍යාලය නැවත ප්‍රතිසංකරණය විය. පසුකාලීනව, 2004 වසරේ ක්‍රීඩා පිටි සැලසුම් කල ස්තාන තුනටම මම ගොස් ඇත්තෙමි. එහි ඉඳිව තිබූ ක්‍රීඩා පිටියක් නම් නැත.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ