ඇෆ්ගන් කතා 15: ඉතියෝපියාව, ඉන්ජෙරා සහ යොඩ් ඇබසීනියා

 ඇෆ්ගනිස්තානයේ සේවයේ යෙදෙන අතරතුර, සේවාමය කටයුත්තක් සඳහා විදේශ සංචාරයක යෙදෙන්නට මට ලැබුණේ එක් අවස්ථාවක් පමණි. ඒ 2015 වසරේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරටය. ඉඳිකිරීම් හා ඉඳිකිරීම් කලමණාකරණ වැඩමුළුවක සම්පත් දායකයෙක් වශයෙනුයි ඒ. සතියක පමණ කලක් ඉතියෝපියාවේ රැඳී සිටියද, නගරයෙන් පිටතට යෑමට හෝ අවස්ථාවක් නොලැබුනේ, වැඩමුළුවට සම්බන්ධ අධික කාර්යබහුලත්වය නිසාමය. ඒ සුළු අත්දැකීමත්, ඉතියෝපියාව හා එහි ජනතාව පිළිඹඳ කෙටි සටහනකි, මේ.


අඩිස් අබාබාහි බෝලේ ජාත්‍යන්තර ගුවන් තොටුපල; අන්තර්ජාලයෙනි

'ඉතියෝපියාවට පාන් පෙන්නුව වගේ' ශ්‍රී ලංකාවේ ප්‍රකට කියමනකි. ඉතියෝපියාවේ වසට තිහකට පමණ පෙර වූ සාගතයක් ගැන, අපි තවමත් 'අපහාසාත්මකව දොඩවමින්' සිටිමු. වර්තමාන ඉතියෝපියාව යනු අප්‍රිකාවේ සීඝ්‍රයෙන්ම දියුණු වෙන රටකි. එහි අගනුවර වන අඩිස් අබාබා 'අප්‍රිකාවේ දේශපාලන අගනුවර ලෙස හැඳින්වේ. එහි ඉතා දියුණු මාර්ග පද්ධතියක් සහ නගරබද විද්‍යුත් දුම්රිය සේවයක් ඇත. එහි දල දේශීය නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 272කි. (මේ වන විට ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 306 කි) ඉලක්කම එසේ වුවත්, ඉතියෝපියාව අපට සාපේක්ෂව වේගවත්ව සංවර්ධන මාවතේ ගමන් කරයි. එහි ජාතික ගුවන් සේවය වන ඉතියෝපියානු ගුවන් සේවය, අප්‍රිකානු මහාද්වීපයේ විශාලම ගුවන් සේවයයි. බෝයිං 777 ඩ්‍රීම්ලයිනර් යානා සහ එයාර්බස් A350 යානාවලින් යුක්ත යානා 128 ක ඇණියකින් සන්නද්ධය.


ඉතියෝපියන් එයාර්ලයින්ස් ගුවන් යානයක්; අන්තර්ජාලයෙනි

ඉතියෝපියාව, මුහුදු මට්ටමේ සිට මීටර 1290 සිට 3000 දක්වා උසින් පවතින, මුළුමනින්ම ගොඩබිමෙන් වටවූ රටකි. ඉතියෝපියාවේ දේශගුණය, උන්නතාංශය සහ පිහිටීම අනුව විවිධය. එහි, සිසිල් සෞම්‍ය දේශගුණයේ සිට, උශ්ණ කාන්තාර දේශගුණය දක්වා පරාසයක් පවතී. අඩිස් අබාබාහි ඇත්තේ සිසිල් සෞම්‍ය දේශගුණයකි. සම්මතයක් වශයෙන් තරු හෝටල් වල හෝ වායුසමීකරණ පහසුකම් අවශ්‍ය නොවේ. විශාල වශයෙන් ගෝත්‍රික ජනපරම්පරාවන් වන පැවතෙන එහි රාජ්‍ය භාෂාව අම්හරික් වේ.


අඩිස් නිල් ටැක්සි රත

ඉතියෝපියාව ඇතුළු ඊසානදිග අප්‍රිකානු ජනතාව (සෝමාලියාව, එරිත්‍රියාව සහ ඉතියෝපියාව) පෙනුමෙන් බොහෝ දුරට ආසියාතිකන්ට සමානය. ඔවුන්ගේ හිසකේ පමණක්, ඇතැම්විට වෙනස්ය. කොලඹ වීදියක ඇවිද යන ඉතියෙපියානුවෙක්, වෙනකර හඳුනා ගැනීමට නම් ඔබට සූක්ෂම ඇසක් අවශ්‍යමය.  ඉතියෝපියානු කාන්තාවන් ඉතාමත් රූමත්ය, සරාගීය. ඉතියෝපියානුවන් සංස්කෘතික හා සාමාජීය අතින්, ශ්‍රී ලාංකිකයන්ට බොහෝදුරට සමානය; විපතකදී අන්‍යන්ට උදව් කරන්නටද කැමතිය.

ඉතියෝපියාවේ සිටි කෙටි කාලය තුල නගරයෙන් පිටවන්නට අවසරයක් නොලැබුනත්, රාත්‍රී කාලයේ නගරයේ අවන්හල් වෙත යෑම අප විසින් මඟ නොහැරියෙමු. එසේ, අප ප්‍රිය කල එක් අවන්හලකි, යොඩ් ඇබසීනියා. ඇබසීනියා යනු පුරාණ ඉතියෝපියාවද අයත්ව තිබූ දේශයක නමකි. අපව යොඩ් ඇබසීනියා වෙත කැඳවා ගෙන ගියේත්, ආපසු හෝටලයට ඇරළුවේත්, අඩිස් හි සුප්‍රකට නිල් ටැක්සි (Blue Taxi) රියදුරෙකි. මෙම මෝටර් රත බොහොමයක් පැරණි සෝවියට් ලාඩා 1200 රතය. ඔවුන් අතිශයින්ම අවංකය. අප එන තුරුම අවන්හල අසල රැඳී සිටියත්, අමතර මුදලක් හෝ බාර ගත්තේ ද නැත.

යොඩ් ඇබසීනියා අවන්හල, සංස්කෘතික සංකල්පයක් මත නිමවූ අවන්හලකි. එහි, සාම්ප්‍රදායික ආහාර සහිත අවන් හලක්ද, සැමරුම් (souvenir) අලෙවි හලක්ද ඇත. අවන්හල, ස්වයං සේවා ක්‍රමයට සකසා ඇති අතර, එහි ඉදිරියෙන්, වේදිකාවන් මත සම්ප්‍රදායක ගායන, වාදන සහ නර්තන එලි දැක්වේ. යොඩ් ඇබසීනියා වෙත සංචාරකයන් ආකර්ශණය වන ප්‍රධාන හේතුව, මේ සංස්කෘතිකාංග සහ ප්‍රනීත ආහාරය. රසවත් ඉතියෝපියානු ආහාර වේලක් රස විඳින අතරේ, තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායක හා නවීන නර්තන ඔබට නැරඹිය හැකිය. සුරුපී තරුණියන් යෙදෙන ඇතැම් නර්තන සරාගීය; ඔවුන් ඇතැම් විට නරඹන්නන් අතරට පැමිණ ඔවුන් සමඟද නර්තනයේ යෙදේ. ඇවැසිනම් ඇගෙන් නර්තනය ඉගෙනීම වුවද හැකිය.


යොඩ් ඇබසීනියා පිවිසුම, අන්තර්ජාලයෙනි


යොඩ් ඇබසීනියා ඇතුලත

ඉතියෝපියාවේ සුප්‍රකටම ආහාරය වන්නේ 'ඉන්ජෙරා' (Injera) ය. ඉන්ජෙරා යනු 'ටෙෆ්' (teff) ධාන්‍ය පිටි වලින් සාදනු ලබන තෝසේ වැනි මෘදු, පැතලි, සවිවර ආහාරයකි. ඉන්ජෙරා විශාල තැටි මත සාදා, බටයක් සේ අකුලා, කැබලි වලට කපනු ලැබේ. ඒවා දිග හැර, විවිධාකාරයේ සූප සහ ව්‍යාංජන සමඟ හෝ සෝස් වර්ග සමඟ ආහාරයට ගනු ලැබේ. ප්‍රකට ඉතියෝපියානු  ගෝවා සහ මස් හොද්ද, ඉන්ජෙරා කෑමට ගැනීමට සුවිශේෂීය. ඉන්ජෙරා ඉතා ලා දුඹුරු පැහැ හෝ සුදු පැහැතිය. 'ටෙෆ්' ධාන්‍යය, ලොව ග්ලයිසිමික් අගය අඩුම ධාන්‍ය වර්ග වලින් එකකි. මෙම ධාන්‍යය කුඩා දුඹුරු පැහැති ඇට ලෙස, තෘණ කුලයේ ශාකයක වැඩේ. ඉතියෝපියාවට සහ එරිත්‍රියාවට ආවේණික ටෙෆ්, ලොව් පුරා ඉහලම ඉල්ලුමක් ඇති ධාන්‍යයකි.

ඉතියෝපියාව පිළිඹඳ කෙටි සටහන ඉන් නිම වුවත්, ඉන්ජෙරා පිලිඹඳ සටහන එසේ නිමකරන්නට නොහැක.

මට යුනෝකාවේ ගිඩියොන් ටිකෝලා නම් ඉතියෝපියානු ජාතික සමීප මිත්‍රයෙකු විය. ඔහුගේ නිවසත්, මගේ නිවසත් වූයේ 'පෙනෙන දුර'ය.  ගිඩියොන්, මා ඉන්ජෙරා ලෝලියෙකු බව දැන, ඉතියෝපියාවේ සිට එනවිට බෑගයක් පුරා පිසූ ඉන්ජෙරා, ඉන්ජෙරා සෝස් සහ ටෙෆ් ධාන්‍යත්, සුප්‍රකට ඉතියෝපියානු කෝපිත් ගෙන එයි. යුනෝකාවේ ඉතියෝපියානුවන් බොහෝ විය. ගිඩියොන්ගේ හිතවත්කම මත, මටද ඉන්ජෙරා සාද වලට ආරාධනා ලැබේ. ඊට අමතරව සීත කාල වල, ඉන්ජෙරා කමින්, කෝපි බොමින් චිත්‍රපට නැරඹීමේ පුරුද්දක් ගිඩියොන් සහ මා අතර පැවතුණි.  ඔහු සතුව, පුළුල් තිර ප්‍රක්ශේපණ යන්ත්‍රයක්, උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය කට්ටිලයක් විය. මා සතුව, දෘඩ තැටි දෙකක් පුරා චිත්‍රපට විය. තවද අප සතුව විවිධ රටවලින් ගෙනා අගනා තේ වර්ග එකතුවක් ද විය. එහි ඇෆ්ගන් තේ, ඉතියෝපියානු තේ (Ethiopian spiced tea), ශ්‍රී ලාංකික තේ, දකුණු අප්‍රිකානු පැනි තේ(South African Honeybush Tea), චීන වදමල් තේ(Chinese Hibiscus Tea), ජපාන රෝස මල් තේ (Japanese Rose Tea) ආදී තේ වර්ග ගනණාවක් විය. ඒ, අතිශය සුන්දර සමයකි.

ගිඩියොන් දැන් වෙසෙන්නේ ඇමරිකාවේය. තවමත් මගේ ඉතා හිතවත් මිත්‍රයෙකි.


යුනෝකාවේ ඉන්ජෙරා සාදයක්


ටෙෆ් ධාන්‍ය සහ වගාවක්; අන්තර්ජාලයෙනි


ගිඩියොන් සහ මම


Comments

  1. ඉතියෝපියානු අක්ෂර ඉන්දීයබ්‍රාහ්මී අක්ෂර වලට සමානත්වයක් දක්වයි එමෙන්ම අශෝක රජු ගේ ලිපි ද ඇතිබව සදහන් වෙ

    ReplyDelete
    Replies
    1. ඉතියෝපියානු ඉතිහාසය විවිධයි විචිත්‍රයි. එහි යුදෙව් සමබ්ධතා පවා පවතිනවා. කියවන්න තියෙන පැත්තක්. ස්තුතී ඔබේ කමෙන්ටුවට

      Delete
  2. ඇත්තට ම අපේ දැනුම යාවත්කාලීන නැහැ. ඉතියෝපියාව දියුණුව අතින් ළඟදී ම අපි පහු කර බොහෝ දුර යාවි.

    ReplyDelete
    Replies
    1. අවංක උත්සාවන්ත මිනිස්සු අනිවාර්‍යයෙන්ම දියුනු වෙන්න ඕනිනෙ මල්ලි

      Delete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!