ඇෆ්ගන් කතා 12: බිළාල කමිටුව

 කුඩා කල සිටම, මම බිලාල පුද්ගලයෙකි (Cat person). ඒ කලම, සුනඛයෙකු විසින් පස්සා පැත්ත සපා කෑම නිසා ඇතිවූ කල් පවතින භීතියක් නිසා, ඔවුන් හා ඇසුර අතේ දුරට සීමා කලේය. යන යන තැන මා සමඟ මිතුරන් වීමට විවරණ දී සිටි පුද්ගලයන් දෙකොට්ඨාශයකි, පලමු වැන්නෝ බිලාලයන්ය. දෙවැන්නෝ මම ඔබට නොකියමි!

ඇෆ්ගනිස්තානයේ යුනෝකාවේදී පවා එයම සිදු විය.

යුනෝකාවේ දෙයාකාරයක බිලාලයෝ සිටියහ. පලමු වැනි පිරිස කැලෑ බලලුන් වැනි කණ්ඩායමකි. ඔවුන්, කුණු බක්කි වැනි කෑම බහුල ස්ථාන වල ලැග සිටින, අපිරිසිදු ජීවීන් කාන්ඩයකි. සිනා පොදක්, කතා බහක් නැත. ලඟට ගොස් 'සේ සේ' කීවත් 'ෆූස්' ගා පිඹියි. කන්සා වල, වල්ගයේ හෝ ශරීරයේ තුවාල ඇත, කන් කොට, වල්ගා කොට අයද සිටිති. තමන්ට අයත් වූ සීමා මුර කරන මොවුන්, ඇතැම් විට කුඩා බලල් කල්ලි ලෙසද වෙසෙති. 

දෙවැනි කොටස ගෘහාශ්‍රිත බලලුන්ය. ඔවුන් පිරිසිදුය. 'ඤාව්' ගාමින් දෙපයේ දැවටේ. 'ඤැක් ඤැක්' ගාමින් පසු පස එයි. කෑමට යමක් දෙන තුරු පියකරු බැල්මෙන් බලා සිටී.

දෙවර්ගයම පෙනුමෙන් ඉතා ප්‍රියමනාපය. පර්සියානු සම්භවයත්, ඇෆ්ගනිස්තානය පැහැදිලි සෘතු භේදයක් ඇති රටක් වීමත් නිසා, ඔවුන්ට මනරම් ලෝම වැස්මක් සහ දිගු මනරම් වල්ගයක් ඇත. සමහරුන්ට කොල හෝ නිල් පැහැති ඇස්ද ඇත.

මේ දෙයාකාරය අතර කිසිම ඇයි හොඳැයියක් නැත.

යුනෝකාවේ බලලුන්ගේ සම්භවය කෙලෙස වූවාදැයි මට නිශ්චිත අදහසක් නොමැත. 2004 දී පමණ පරිශ්‍රය මුල් වරට ගොඩ නැඟෙද්දී, වැට කඩුලු අඩු, අත මිට සරු, කාරුණික මිනිසුන් හා අතිරික්ත ආහාර ඇති කෙම් බිමකට, සහජ ඉව නිසා ඇදී ආවා වන්නටද පුළුවන. ඇතැම් විට, කවුරුන් හෝ බලලුන් ගෙනවිත් දමනවාද විය හැක. උස් තාප්පයෙන් නම් ඔවුන්ට පනින්නට නොහැක.


මෙම බලලුන්ගේ සුභ සිද්ධිය සඳහා ස්වයංව තෝරා ගත් කමිටුවක් විය. එය හැදින්වූයේ බිලාල කමිටුව (Cat committee) ලෙසය. 2015 වසරේ, එකසත් ජාතීන්ගේ ලමා අරමුදලෙහි බිලාල කමිටු සාමාජිකයා වූයේ මමය. ලොව නන් දෙසින් ඇදී ආ පූස් ලෝලියෝ එහි සාමාජිකයන් වූහ. ඇෆ්ගනිස්තාන් ජාතික පශු වෛද්‍යවරයෙකුගේ සහායද අපට ලැබුණි. මූලික වශයෙන්ම, බිලාල කමිටුවේ වටිනාකම වූයේ කැලෑ පන්තියේ බලලුන්ටය. අපි ඔවුන්ගේ තුවාල වලට බෙහෙත් දැම්මෙමු. වන්ධ්‍යාකරණ සැත්කම් කලෙමු.

වල් බලලුන් අල්ලා ගැනීම ලෙහෙසි නැත. උන් ඇල්ලීමට, ලංකාවේ ඇති පෙට්ටි මී උගුල් වැනි ලී හා දැල් ගසා තැනූ උගුලක් විය. මස් කැබැල්ලක් දමා ඔවුන් අසලින් තැබූ විට ඔවුන් අල්ලා ගැනීමට පුලුවන. එසේ අසු නොවන කපටි පූසන් ඇල්ලීමට ඇතැම් විට ගෝනියක් ආදිය භාවිතා කිරීමට සිදුවේ.

ඇතැම් විට, කාබුල් නුවර අනාරක්ෂිත වී, දේශීය වෘත්තිකයන් පරිශ්‍රයට පැමිණීම සීමා කෙරේ. එවන් අවස්තාවන්හිදී, මෙම කැලෑ පූසන්ට කෑම හිඟ වේ. එවැනි විටක, කෑම සැපයීමට සැදී පැහැදී සිටි එක් කාන්තාවක් වූවාය. ඇය හැඳින්වූයේ 'බිලාල කාන්තාව (Cat lady)' නමිනි. ඇයගේ ශීතකරණයේ, අවන්හල් වල පිස, අතිරික්තවන මාංශමය ආහර තැන්පත් කර ඇත. බිලාලයන්ට කෑම හිඟ දින වල, අපි එම මස් රත් කර, පරිශ්‍රය වටේ බෙදමින් යන්නෙමු. බිලාලයන් 'ස්තුතියි' කියන්නට හෝ හිස නොඋස්සා, ආහාර ගෙන, වල්ගා ගස්සා, තොල කට ලෙව කමින් පිටව යති.

ගෘහාශ්‍රිත බලලුන්ට එහෙම අඟ හිගයක් නැත. එක් ගෙවල් පොකුරක සාමාජිකයෝ ඒ ආශ්‍රිතව සිටින බලලා බලා ගනිති. බලලා සමඟ වැඩි ඇයි හොදැයිය ඇති අයගේ නමින් බලලාද නම් වේ. ඒ අනුව ඒරියල්ගේ බිලාලයා, අන්ද්‍රේගේ බිලාලයා ලෙසින් බිලාලයෝ සිටිති. මූලික පහසුකම් සපයන්නා පරිශ්‍රයෙන් පිට නම්, නිවාස සමූහයේ අනෙකුත් සාමාජිකයන් බිලාලයා පිළිඹදව සොයා බලති.

රසිකගේ බිලාලයෙක්ද විය.

ඌට අමතර නම්ක්ද විය. ඒ චාලිය.

චාලි, පරිශ්‍රයේ සිට කළු පැහැති බලලුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙකා, චාලිගේ වයස්ගත මවයි. චාලි, නිතර සිටින්නේ මගේ කාර්යාලය අසලම ඇති ෆයිනස් ගසක අත්තක් උඩය. මම කාර්යාලය නිමවී නවාතැනට යන විට, චාලි පෙරගමන් යයි., ඇතැම් විට මා පුදුම කරන්නට මෙන් එක් වරම කොහේ හෝ සිට දුව එයි. නිවසේ දොර ඇරිය විට මටත් කලින් ඇතුළු වී අහු මුළු පිරික්සා බලයි.



චාලිගේ ප්‍රියතමා ආහාරය සෝසේජස්ය. බලල් කෑම සමඟ හෝ නැතුව, සොසේජස් ඇත්නම් චාලිට වෙන යමක් ඕනි නැත. නිවසට රිංගූ පසු සොසේජස් නොදී පිටමන් කරන්නටම බැරිය. දුව ගොස් ඇඳ යට හැංගෙයි. නිවාඩු දිනවලද, මා බලන්නට එන චාලි, සෙටියේ කොණක වාඩි වී මා කරන කියන කටයුතු නිරීක්ෂනය කරයි. කිසි විටෙක වදයක් නොවුනු චාලි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ පූසෙකි.

චාලි, මා කාබුල්හි නොසිටි දිනක අවසන් ගමන් ගියේය. ඒ, ටොන් හයක් බර ලෑන්ඩ් කෲසරයකට අසු වීමෙනි.

චාලි වෙනුවෙන්, අපි අපගේ බාබකියු උද්‍යානය 'චාලිගේ උද්‍යානය (Charlie’s Garden)' ලෙස නම් කලෙමු. කළු පූසන්, ඊලඟ ආත්මයේ මිනිසෙක් වී ඉපදෙන බව, ශ්‍රී ලාංකික ඇතැම්හු අදහති. මම එය එසේම වේවායි පතමි.


සේයාරූ: යුනෝකා පරිශ්‍රයේ බිලාලයෝ. කළු පැහැති බලලා චාලිය.

තවත් කොටසකින් හමු වෙමු.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!