බීඩි දුම



ජයරත්නට අවුරුදු පනහකට වැඩි මිසක් අඩු නැත. හැඩි දැඩිය. ගමන බකලය. බරට අඩිය තියන්නේ පොළව සමඟ අරියාදුවට මෙනි. මූණේ වම් කොණට වන්නට ඉන්නෙක් ඇත. වැඩි හිනාවක්, වැඩි කතාවක් බහක් නැත. ගමන බිමන බිම බලාගෙනය. කවුරුන් හෝ මුලච්චි උවහොත් හිස ඔසවා බලයි. ඉදින් නොදන්නෙක් නම් නැවත බිමම බලාගනී. දන්නෙක් නම් නවතී. වචනයක් දෙකක් කතා කරයි. එකම නැවත නැවත කියයි.  ජයේ මට නිතරම මුණ ගැසෙන්නේ නිවස අසල ඇති ලාඩප්පා දෙවැටේදීය.

" ලොකු මල්ලි බැහැරක් යන්නද?"

"ඔව් ජයේ. කොලඹ යන්ට කියල"

මම මේ පොල් තෙල් කාලක් ගේන්න කඩේ යනව. ලොකු මල්ලි බැහැරක්ද?"

"ඔව් ජයේ. කොලඹ යනව"

"මම මේ පොල්තෙල් ගේන්ඩ යනව. මල්ලි බැහැරක්ද?"

"ඔව් ජයේ. මම එන්නම්කො"

මම වහ වහා අඩියට දෙකට මාරු වී යමි. නැතිනම් ගැලවීමක්ම නැත.

ජයරත්න අප අසල්වාසී පවුලක දරුවන් අතරින් වැඩිමලාය. ඒ ගෙදර, පුවක් වල්ලක් පොලවේ ගැසුවාක් මෙන් ලමයින් සිටිති. ජයරත්නට නුහුගුණේය. ඇඟේ තරමට මොළය වැඩෙන්නේ නැත. වයස දහයේදී පමණ මොළය නතර වී ඇත. සීමිත වැඩ කොටසක් කරයි. කඩේ යයි, අතුපතු ගායි, බල්ලන් නාවයි, පොල් ඔයයි, පත්තරේ යන්තම් අකුරු ගැටගසා කියවයි. සල්ලි අඳුරන්නේ පාටිනි. පනහේ කොල නිල් පාටයි, සීයේ කොල රතු පාටයි ආදී වශයෙනි. කාටවත් කරදරයක් නැත. බවලතුන්ට ගරු කටයුතුය.

ජයරත්නට කොටු කොටු කලිසම් කීපයක්, කර නැති ටීශර්ට් කීපයක් ඇත. සෝද සෝදා ඒවාම අඳියි. සෙරෙප්පු නැත. හවසට වෙලේ ළිඳෙන් සිත් සේ නායි. බාල්දියට දියත් ගෙන ගෙදර යයි. කොහේ හෝ වැටී නිදයි. ජයේ නොදන්නා අයෙක් ගමේ නැත.

ජයේගේ පවුලත් අපේ පවුලත් හිතවත්ය. කොස්, වරකා පළු, පොලොස් ගැට, පොල්,කෙසෙල් ඇවරි ඉහල පහල යයි. ලෙඩේදී දුකේදී පිහිට වෙයි. අප කුඩා කල, ජයේගේ නිවස පිහිටි හිස් මූකලන් ඉඩම හරහා වැටුනු පාරෙන් නිවසට යන විට ජයේ මග ඉද තනි රකී. ඇඹුල් ඇඹිල්ල, ඇඹුල් පේර, ඟදපාන, කිරිල්ල ආදී ගඩා ගෙඩි කඩ කඩා දෙයි. ඒ ආදරය අදත් එලෙසමය.

ජයේගේ කිව හැකි වැරදි ඇත්තේ දෙකකි. පලමුවැන්න විහිළු වලට කෝප වීමයි. කොල්ලෝ කුරුට්ටෝ විහිළු කල විට ජයේට අසූහාරදාහට කේන්ති එයි. ගල් කැට, අතු කැබලි වලින් දමා ගසයි.

"ඇඩෝ, බකලයා, හූ” කොල්ලෝ කොලොප්පම් කර දුවයි. ජයේ පස්සෙන් අඹයි. එහෙමත් දවසක කොල්ලෙක් ඔහුගේ අතටම අසුවෙයි. කොල්ලාට උරුක් කරන අත, කිසිදා පහලට නොයයි. යකා මෙන් මදක් රවාගෙන සිට, කොල්ලා අත්හැර දමයි. කොල්ලන් ජයේට ආදරේය. ඉඳින් ඒ වරදක් යැයි කියන්නටත් බැරිය.

අනෙක් වරද තිස්සේම බීඩි බීමයි. කොට කලිසම් සාක්කුවේ බීඩි මිටියක් හා ගිනි පෙට්ටියක් වරදින්නේ නැත. ජයේ, බීඩි බොන්නේ අමුතුම තාලයකටය. බීඩිය දල්වාගෙන කටේ ගසාගත් පසු අතකින් අල්ලන්නේ නැත. අළු කඩන්නේ නැත. කෝච්චියක් සේ දුම් දම දමා, දුම් පිඹ පිඹ යයි. බීඩියේ රස්නය දෙතොලට දැනෙන විට 'තුක්' ගා කෙල ගසා දැල්ල පිටින්ම බීඩි කොටේ කොහේ හෝ විසිකරයි. එක්වරක් ගොයම් කොලේකට ගිනි ඇවිලී මහ අලකලංචියක් විය.

 

ජයේට බීඩි බීම හුරු කලේ කිරිහතා මුදලාලිය. ඒ තමන්ගේ මඩිය තරකර ගන්නටය. ජයේගේ නිවසට මයිල බාගයක් පමණ දුරින් සුප්‍රසිද්ධ මහා විද්‍යාලයකි. කිරිහතා මුදලාලිගේ කඩය පිහිටියේ ඒ නුදුරේමය. ඉදිරිපස සිල්ලර වෙළඳාමය. පිටුපස තැබෑරුමය. හරක් මස්, කුකුල් මස්, ඌරු මස් හට්ටි ගනන් කඩේ පිටුපස්සේ ගොජ දමා ඉදෙයි. මුදලාලි බිරිඳ අතුත් නැති තුනී හැට්ටයක් හා මල් චීත්තයක් ඇද උකුළු මුකුළු කරමින් තැබෑරුම මෙහෙයවයි. බේබද්දන් පස්ස දොරෙන් ඇතුලුව, මදක් රැඳී, පිටි අත්ලෙන් කට පිස පිස කෙලගසමින් පිටව යයි.

කිරිහතා ජයේට මුලින්ම හුරු කරන්න හැදුවේ කසිප්පුය. පූරුවේ පිනකට මෙන් ජයේට කසිප්පු පත්තියං වූයේ නැත. සතියක් පමණ කන බොන හැම දේම ගඳට වමනය කරමින් පිලිකන්නේ වාඩි වී සිටි ජයේ, කිරිහතාගේ කඩේ මාසෙකටවත් පස් පෑගුවේ නැත. ජයේගේ අම්මා දෙනෝදාහක් පිරිස මැද කඩේ මුදලාලිට අමු තිත්තෙන් බැණ වැදුනේය.

" මගෙ අසරණයට දහ ජරාව පෙව්වට තොට හෙන හත ගහන්න ඕනි කිරිහතෝ"

මුදලාලි තැබෑරුමට වී මීක් නැතුව සිටියේය.

පස්සෙන් පහු කාරණා කරුණු කාරණා අමතක වී කඩේට ආ ජයේට බීඩි හුරු කර ජයේලෑ අම්මලාගෙන් ඒකට වාඩුව ගත්තේය.

ජයේ අබ්බගාත නිසා ආන්ඩුවෙන් සුළු පිං පඩියක් ලැබේ. එය කොටස් වශයෙන් අම්මා ගෙන් ඉල්ලාගෙන බීඩි බොයි. අම්මා අකමැති උනත්, ජයේගෙන් බේරෙන්නට බැරිය. මුදල් ලැබෙන තුරුම අත දිගු කරගෙන පස්සෙන්ම එයි. අම්මා රෙදි අල්මාරිය අවුස්සා කීයක් හෝ ජයේ අතට දෙයි. ඇතැම් විට මග හමුවෙන අයගෙන්ද සල්ලි ඉල්ලා ගයි.

"ලොකු මල්ලි රුපියල් විස්සක් දියං බීඩි බොන්ඩ"

මම පසුම්බියෙන් රුපියල් විස්සක් ඇද දෙමි. ජයේ මිටින් හල කුරුල්ලා මෙන් කඩයට දුවයි.

මහා විද්‍යාලයේ ක්‍රීඩා ජම්බෝරියක් පැවැත්වුනේ මෑතකදීය. පිට පලාත් වලින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහි කඳවුරු බැදගත්හ. සුදු ඇදගත්, කිරි කොක්කු මෙන් මානව මානවිකාවෝ මහ පාරේ උඩටත් පහලටත් දුවති. සාය කොට ඇදගෙන දුවන කෙල්ලන්ගේ කලවා ඉර එලියට දිළිසේ. ඒ දඟ දැක කුලප්පු වූ ජම්බෝරියට පිටින් ආ වනචරයෙක් කළු කැපෙන හැන්දෑවක කෙල්ලක පාසල පිටුපස පිහිටි ලන්දකට ඇදගෙන ගියේය. කෙල්ලට මහහදිය වීම නූලෙන් වැලකී ගියේ ගමේ උකුසු ඇස් වලට පින් සිදු වන්නටය. ක්ශණයකින් ජම්බෝරියම ලන්ද පීරුවේය. කලබල වූ වනචරයා කෙල්ලගේ ඇදුම් ඉරා දමා ලන්දේම සැගවී වහන් වුනේය. පොලිසියද පැමිණ විපරම් කලද උගේ ලොම් ගසක දෙයක් වත් හමුවූයේ නැත.

කෙල්ල සිටියේ සිහිමදවය. ජම්බෝරිය භාර වෛද්‍යවරිය වතුර ඉස, පවන් සලා ඇයට සිහි කැදෙව්වාය.

"ඒ යකා මගෙ මූණට දුමක් පිම්බ. ඊට පස්සෙ මට මොනවාවත් මතක නෑ" කෙල්ල කීවාය. ඇය රෝහල් ගත කෙරිණි. ඈ ඊටපසු ජම්බෝරියට ආවේ නැත. "ඔය වෙච්චි හරිය මදැයි" කියා ඇගේ මෑණියෝ ඈ කුදලාගෙන ගමේ ගියාය.

දුමක් පිඹ, කෙල්ලන් ලන්දට ඇදගෙන යන "යකෙක්" යකෙක් ගැන බියක් ගමේත්, පාසලේත්, ජම්බෝරියේත් පැතිර ගියේය. පොලිස් ආරක්ෂාව යෙදවිනි. අපරාධකරු නිදැල්ලේ නිසාම තත්ත්වය උග්‍ර විය. කෙල්ලන් හැන්දෑකරේ කල එලි බැස්සේම නැත.

සති දෙකක ජම්බෝරියේ මේ අලකලංචිය සිදු වූයේ මුල් සතියේය. ජම්බෝරියෙ අවසන් දින ලං වෙත්ම, මේ අඳුරු පැහැ සිදුවීම කාගේත් මතකයෙන් මදක් රූටා ගියේය. අවසන් සරඹ සංදර්ශනයේ, පෙලපාලියේ හා ක්‍රීඩා උලෙලේ පුහුණුවීම් කටයුතු යහමින් සිද්ධ විය.

අවසන් දිනට පෙර, දිනයේම ක්‍රීඩා ජම්බෝරියේ සිටි දරුවන්ගේ දෙමාපියන්ද එකා දෙන්නා ගමට සැපත් වී සිටියහ.

ජයේට, ගමේ සිදුවන උත්සවය සහ අනෙක් උප සිදුවීම් වගේ වගක් නොවීය. සුපුරුදු ලෙස, ඔහු සිටියේ ඔහුගේම ලොවේය. බීඩි බොමින් තැන තැන ගියේය. අපිට කොස් ඉරු අරන් ආවේය. රුපියල් විස්සක්ද ඉල්ලා ගත්තේය.

 අවසන් පෙලපාලියේ පෙරහුරුව මහ දවාලියේ "චල් චල් චල් - ඩොං ඩොං ඩොං" අනුකරනයෙන් බෑන්ඩ් ගසමින් මහ පාරේ ඉහලට ගියේය. ජයේ, බීඩියක් බොමින්  කිරිහතාගේ කඩයට, පහලට ගියේය. අන්තිම බීඩියේ කොණක් කටේ දැල්වෙමින් තිබුණි. පාරේ ගිය බෑන්ඩ් කණ්ඩායමේ කෙල්ලන් අතරින් රිංගමින්, අළුවා කපන්නාක් මෙන්ය ජයේ පාරේ ගියේ.  පෙලපාලියට ජයේ බාධාවක් විය. කෙල්ලක ජයේගේ මූණට මූණ හමුවිය. ඒකි දකුණට පනින විට ජයේත් දකුණට පැන්නේය. කෙල්ල වමට පනිණ විට ජයේත් වමට පැන්නේය. ජයේට තරහා ආවේය. සැර දුම් පාරක් කෙල්ලගේ මුහුණටම පිම්ඹේය. කෙල්ල, බෙරගෙඩියත් පෙල්ලාගෙන 'දඩෝං' ගා බිම ඇද වැටුනි. ජයේ මෝල් ගස් ගිල්ලාක් මෙන් පාර මැද හිටගෙන සිටියේය. සෙසු කෙල්ලන්ද "මෙන්නෝ දුම් පිම්බෝ, මෙන්නෝ සිහි නැති උනෝ, මෙන්නේ උස්සන් යන්න හදනවෝ" යි කෑගසමින්, ට්‍රම්පට්, බෙරගෙඩි මවුත් ඕගන් බිම දමා හතී අත දිව ගියෝය.

වටේ සිටි පිටගංකාරයෝ එක රොත්තට ජයේ පිටට පැන අහු වෙන එකෙන් ජයේට සලකන්නට පටන් ගත්තේය.

"මේකා වෙන්නැති එදත් කෙල්ලෙක් ඇදන් ගියේ"

 ගම්කාරයෝ ඒ මැද්දට පැන්නාහ.

"අතෑරපියව් අසරණයව"

රංඩුවක් ඇවිලී ගියේය. ගමේ සිටි පොලිසිය මැදිහත් විය.

කාණ්ඩය දෙපසට වන විට, සෙනඟ ගොඩ මැද්දේ ලේ පෙරාගෙන ජයේ වැතිර සිටියේය. ජයේද, කෙල්ලද රෝහල් ගත විය.

පසුව ආරංචි වූ පරිදි කෙල්ල කලන්තෙ දමා ඇත්තේ අවුවේ සැරට මිසක් බීඩි දුමට නොවේ.

ජම්බෝරියේ අවසන් උත්සවය පැවත් වුනි. වැඩි කල එළියක් නොවීය.ගම්මු හූත් කීහ.

සතියක් පමණ ඉස්පිරිතාලේ සිට ජයේ ගමට ආවේය. ජයේ දැන් බීඩි බොන්නේ නැත. ඇවිදින්නේ අඩුවෙනි. පිලිකන්නේ බංකුවක වාඩි වී දෙන දෙයක් කා ඔහේ බලාගෙන සිටින බව ජයේගේ මව, මගේ මව සමග කීවාය. අහම්බෙන් හෝ පාරට යන දවසක, සුදු ඇඳුමක් දැක බියෙන් පරල වන ජයේ පණ එපා කියා ගෙදරම දුවයි.


2021.03.10 දිනමිණ පුවත් පතෙහි පල විය. 

 

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!