ඇෆ්ගන් කතා 13: උඩුගුවනේ ජරමරේ

ශ්‍රී ලංකාවේ සිට ඇෆ්ගනිස්තානයට යෑමට ගුවන් මාර්ග දෙකක් ඇත. පලමුවැන්න, කොලඹ, ඩුබායි හරහා ඇෆ්ගනිස්තානයයි. දෙවැන්න, කොලඹ නව දිල්ලිය හරහා ඇෆ්ගනිස්තානයයි. ඉන්දියාව හරහා ගුවන් ගමන විශ්වාසදායී නැත. ගුවන් ගමනට මඟීන් නොමැතිවීම වැනි කාරණා මත, දිල්ලි, කාබුල් ගමන ඇතැම් විට අවලංගු කෙරේ. එම නිසා, අපේ තේරීම වූයේ ඩුබායි හරහා ගමනයි.

ඩුබායි හරහා කාබුල් යාමට සේවා සපයන ගුවන් සමාගම් දෙකකි. පලමුවැන්න එමිරේට්ස් (Emirates)  ගුවන් සේවයයි. දෙවැන්න ෆ්ලයි ඩුබායි (Fly Dubai) ගුවන් සේවයයි. ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, 'සකසුරුවම්' ගුවන් සමාගමකි (Budget Air Line). මේ දෙක අතරින්ද, වැඩි කාලයක් සහ ඩුබායිහි වැඩි වේලාවක් ගතවන ගුවන් ගමන එමිරේට්ස් මඟින් පියා සැරීමයි. එබැවින්, අඩු කාලයකින් යා හැකි ෆල්යි ඩුබායි, අප බොහෝ විට තෝරා ගත්තෙමු. (කොලඹ සිට ඩුබායි ගුවන් කාලය පැය හතර හමාරකි, ඩුබායි සිට කාබුල් දක්වා පැය තුනකි. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් තොටේ නැවතී සිටින කාලය (waiting time) පැය තුනක් වන අතර, එමිරේට්ස් ගුවන් සේවයේ එම කාලය පැය අටකි. ෆ්ලයි ඩුබායි දිනපතා ගුවන් සේවා තුනක් කාබුල් වෙත පවත්වන අතර, එමිරේට්ස් ගුවන් යානා ඇත්තේ එකකි. මෙම වෙනසට හේතුව එයයි.) සකසුරුවම් අඩු වියදම් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ තුන්වන පන්තිය හා ව්‍යාපාරික පන්තියේ ආසන ඇත. තුන්වන පන්තියේ ආසන, එමිරේට්ස් යානාවකට වඩා සැප පහසුව අඩුය, වතුර පොදක් හෝ නිකම් ලැබෙන්නේ නැත. මෙම තත්ත්වය 2018 වසරේ එමිරේට්ස් ගුවන් සමාගම සහ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම අතර 2018 වසරේ ඇතිවූ සහ්යෝගිතාවයකින් පසුව වෙනස් වූ බව එහි සේවය කරන මිතුරෙක් පැවසීය) ආසනයේ පිහිටීමට පවා මුදල් ගෙවීමට සිදුවේ. නමුත් සමස්තයක් ලෙස ලාභදායීය. අවශ්‍යනම්, ව්‍යාපාරික පන්තියේ ආසනයක්, තෙවෙනි පන්තියේ ආසනයකට මෙන් දෙගුණයක් පමණ මුදල් ගෙවා මිලදී ගත හැක. ෆ්ලයි ඩුබායි ව්‍යාපාරික පන්තිය එමිරේට්ස් සේවයේ ව්‍යාපාරික පන්තිය තරම් සැප පහසු නොවුනත්, ගෙවන මුදලට වටී. මේ ගුවන් සමාගම් දෙකම, සලසන සේවය අතින් ඉතා ඉහල මට්ටමක පවතී. ෆල්යි ඩුබායි ගුවන් සේවය සකසුරුවම් ගුවන් සේවයක් උවද, එහි ඇත්තේ නවීන බෝයින් 737-800 හා බෝයින් 737 මැක්ස් 8 (Boing 737-MAX8) යානාය. 2016 මාර්තු මාසයේ රුසියාවේ රොස්ට්ව් ඔන් ඩොන් (Rostov-on-Don) හිදී සිදුවූ මාරාන්තික අනතුර හැර, වෙනත් අනතුරු කිසිවක් සිදු වී නැත. එමිරේට්ස් ගුවන් සේවයේ මේ දක්වාම කිසිම මඟියෙක් ගුවන් අනතුරකින් මියගොස් නැත.

කාබුල්හි කලබලකාරී සමයට පෙර, හමීඩ් කර්සායි ගුවන් තොටට ගුවන් සේවා සපයන සමාගම් රැසක් විය. ගල්ෆ් එයාර්, එයාර් ඇරබියා, සාෆි එයා ආදී ගුවන් සමාගම්, අපගේ ගුවන් ගමන් තේරීම් වැඩි කරගන්නට තිබූ ඉඩ ප්‍රස්තාව අහිමි කරමින්, ගුවන් ගමන් නවතා දැමූහ. මේ නිසා එමිරේට්ස් ගුවන් සමගාමට සහ ෆල්යි ඩුබායි ගුවන් සමාගමට, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික ගමනාන්ත වලට ඒකාධිකාරයක් ඇත.



ෆල්යි ඩුබායි 737-800 සහ 737 මැක්ස් ගුවන් යානා

ගුවන් ගමන්, මහා මාර්ගයේ ධාවනය වන බස් රතයක ගමනටත් වඩා ආරක්ෂාකාරීය. එවන් තත්ත්වයක, මා මුහුණ දුන් අවදානම්, බියකරු තත්වයක් ගැනයි මේ සටහන.

 සුපුරුදු පරිද්දෙන්, එදාත් මා ශ්‍රී ලංකාවට යාමට පිටත් වූයේ, කාබුල් නුවරින් අහසට නඟින අවසාන ෆ්ලයි ඩුබායි ගුවන් යානාවේය. මෙම අවසන් ගුවන් යානය, නිතරම මඟීන්ගෙන් පිරී පවතී. නිවාඩු ලබා යන මා මෙන් එක්සත් ජාතීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධාන වල සේවකයන්, සුළු ව්‍යාපාර කටයුත්තකට ඩුබායි වෙත යන ඇෆ්ගන් වැසියන්, රාජ්‍ය නිලධාරීන් ආදී වශයෙන් පුළුල් පරාසයක මඟීහු මෙම ගුවන් යානයේ නිතරම ගමන් ගනිති.

 ඇෆ්ගනිස්තානයේ සිට ඩුබායි දක්වා ගුවන් ගමන වැටී තිබෙන්නේ ඇෆ්ගනිතානයේ දකුණු දිග පෙදෙස සහ ඉරානය හරහාය. ගමන්ට ගතවන ගුවන් කාලය පැය දෙක හමාරේ සිට තුන දක්වා වෙනස් වේ. ඇත්ත වශයෙන්ම පැය දෙකහමාරකින් ඩුබායි වෙත ලඟා වීමට හැකියාව තිබුනද, අධික කාර්ය බහුල ගුවන් තොටට ගොඩ බැස්වීමට පෙර පැය භාගයක් පමණ ඩුබායි ගුවනේ 'රවුම් ගසමින්' සිටීමට සිදුවේ. සකසුරුවම් ගුවන් යානා වලට බොහෝ විට ලැබෙන්නේ 'කුඩම්මාගේ සැලකිලිය'. 

අප, අපගේ ගුවන් ගමනෙන් පැය දෙකක් පමණ සම්පූර්ණ කර සිටියෙමු. මා අසුන් ගෙන සිටියේ යානයේ දකුණු පස ආසන පේලියේය. ආසන පේලියක අසුන් තුනකි. මම, ජනේලය අයිනේ අසුනේ වාඩි වී සිටි අතර, අනෙක් අසුන් දෙකෙහි මවක් සහ දුවක් යයි සිතිය හැකි දෙදෙනෙක් වාඩි වී සිටියහ.

ගුවන් යානයේ වා කවුළු වලින් අළු පැහැති සිහින් දුමාරයක් පිටවීම ඇරඹුනේ මේ අවස්ථාවේදීය. මුලින් සිගරට් දුමක් ලෙස, සිහින් දැල්ලකින් නැඟ ආ එය, කාලයත් සමඟ කෙමෙන් වැඩි වන්නට විය. වයර් පිච්චෙන ගඳක් වැන්නක් ද දැනීමත් සමඟ මඟීහු කලබලයට පත් විය. ඇතමෙක් කහින්නටද ගත්හ. ගුවන් සේවිකාවන් ඉදිරියටටත් පසු පසටත් කඩිනමින් ගියහ. නියමු කුටිය සමඟ පණිවුඩ හුවමාරු කරගත්හ.

මේ වන විට අප සිටියේ ඉරානයේ බන්දර් අබ්බාස් (Bandar abbas) වරායට ඉහල අහසේය. බන්දර් අබ්බාස් වරායේ සහ අවට නතර කර ඇති නැව් වල ආලෝක පුංජයන්, ඒ වන විට කවුළු තුලින් දිස් වීමට පටන් ගෙන තිබුණි. දැවිල්ලක් ඇතිකරන සුළු දුමාරය නිසා මම, ලේන්සුවෙන් නහය ආවරණය කරගෙන සිටියෙමි. වීදුරුව තුලින් යානයේ දකුණු පස ටර්බයින් එන්ජිම දිස් විය. එහි කිසිදු අමුත්තක් හෝ යානයේ වෙනසක් නොදැනුන නිසා, අභ්‍යන්තර ගැටළුවක් බව පැහැදිලිය. කෙසේ නමුත් මම බියවී සිටි බව නොකියා බැරිය.

දුම ඉහල යාමත්, කැස්සත් සමඟ මගීහු කලබල වීමට පටන් ගත්හ. ඇත්මෙක් ගෝෂා කරන්නටද, ඇතමෙක් දෙවියන් යදින්නටද පටන් ගත්තේය.

වෙනදා ගුවනේ රවුම් ගසමින් සිටින යානය, සීඝ්‍ර බැස්මක් සමඟ ගුවන් තොට දෙසට පහත් විය. සිදුවන කලබලගෑනිය නිසා, අපට ප්‍රමුඛත්වය ලැබුනා වන්නට ඇත. යානය ගුවන් පථයට පහත් වනවාත් සමඟම, දෙපස නවතා තිබූ ගිණි නිවන රථ සහ ගිලන් රථ, යානයේ ගමන අනුව පසු පස හඹා එන්නට විය. ඇත්ත වශයෙන්ම මට බිය දැනුනේ ඒ අවස්තාවේදීය. මෙම හඹා ඒම, ගුවන් යානය නතර වන් තුරුම සිදුවිණි. කෙසේ වන විටත්, දුම් පිටවීම ඒ වන විට අඩු වී තිබුණි.

යානයට වහාම ගොඩ වූ ගිණි නිවන භටයෝ පිරික්සීමෙන් පසුව, සාමාන්‍ය පිලිවෙත (normal procedure) අනුගමනය කරන්නට උපදෙස් දුන්නෝය. මඟීන් ඉවත් කිරීම, සුපුරුදු පරිදි, එහෙත් කඩිනමින් සිදු විය.

පසුව දැනගත් පරිදි, එය යානයේ හදිසි ඔක්සිජන් පද්ධතියේ දෝෂයකි.


අප එන තුරු රැඳී සිටි හදිසි සේවා රථ

Comments

  1. ෆේස්බුක් එකෙන් කියෙව්වා උදේ. මොකද්ද ඉතිං දොශේ වෙලා තියන්නේ?

    ReplyDelete
  2. ගුවන් යානයේ හදිසි ඔක්සිජන් සැපයුමට සම්බන්ධ රසායනික ප්‍රතික්‍රියාවක් නිසා කියලයි කීවෙ. හරියටම දන්නෑ.

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ