ඇෆ්ගන් කතා 9: ජනතාව සහ ආහාර

[ඇෆ්ගන් ජන වර්ග පිළිඹද සටහන, මගේ අත්දැකීම් සහ අන්තර්ජාලයෙන් සොයා ගත් කරුණු මත පදනම් වන අතර, ආහාර පිලිඹද සටහන, මගේ වාසස්තානය වන කාබුල් යුනෝකා පරිශ්‍රය සහ බාමියන් සහ දයිකුන්ඩි පෙදෙස් වල ආහාර රටාවන් අධ්‍යනය කිරීමෙන් පිලියෙල කල බව සැලකුව මනාය]


ඇෆ්ගනිස්තානයේ විවිධ ජන වර්ග දැක්වෙන සිතියමක් (සේයාරුව අන්තර්ජාලයෙනි )

ජනතාව:ඇෆ්ගනිස්තානය යනු විවිධ ජන වර්ග රාශියක් වාසය කරන රටකි. ජනගහනයෙන් 42% ක් සමන්විත වන්නේ පශ්තූන් වරුන්ගෙනි. පශ්තූන් වරුන්, ඇෆ්ගන් වරුන් ලෙස හැඳින්වෙන අතර, ඔවුන් තමා ඇෆ්ගනිස්තානයේ උරුම කරුවන් ලෙස සලකති. ඉරානය නිජබිම කරගත් ජන වර්ගයකි. ඔවුන්ගේ භාෂාව පශ්තෝ භාශාවයි. දෙවන භාශාව වශයෙන් පර්ශියන් දාරි භාෂාව කතා කරති. බහුතරයක් උර්දු භාෂාවද භාවිතා කරයි. පශ්තූන් වරුන් බොහොමයක් ඇෆ්ගනිස්තානයේ දකුණු දිග පෙදෙස් වල වාසය කරති.  පාකිස්තානයේ ජනගහනයෙන්ද 18% ක්ම පශ්තූන් වරුන්ය.

ජනගහනයෙන් 27% ක් තජික්වරුන්ය. ඔවුන්ගේ මවු භාෂාව පර්සියානු (දාරි) භාෂාවයි. ඇෆ්ගනිස්තානයට අමතර තජිකිස්තානයේ සහ උස්බෙකිස්තානයේද වාසය කරති. බහුලවම ඊසානදිග ඇෆ්ගනිස්තානයේ වාසය කරති.

මධ්‍ය කඳුකරය කේන්ද්‍ර කරගත් හසරාවරු ඇෆ්ගනිස්තානයේ ජනයාගෙන 9% කි. පර්ශියන් දාරි භාෂාව කතා කරන ඔවුහු ශියා නිකායික  ඉස්ලාම් දහම අදහති. එබැවින්ම, නොයෙකුත්  කෙණෙහිලිකම් වලට දීර්ඝ කාලයක් තිස්සේ ගොදුරු වෙති. (ඇෆ්ගනිස්තානයේ අති බහුතරය සුන්නි නිකායික ඉස්ලාම් දහම අදහති) හසරාවරුන්ට මොංගෝලියනු හෝ තුර්කි සම්භවයක් ඇති බවට සැලකේ. ඔවුන් පැවත එන්නේ ජෙංගීශ් ඛාන්ගෙන් බවටද මතයකි.

හසරාවරුන් මෙන්ම, ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 9% ක් උස්බෙක් වරුන්ය. ඔවුන්ට උතුරු චීන සම්භවයක් ඇතැයි සැලකේ. ඔවුන් දකුණු උස්බෙක් භාෂාව කතා කරති. 

ඇෆ්ගනිස්තානයේ බටහිර සහ මධ්‍ය කඳුකරය නිජබිම කරගත් ගෝත්‍රික අයිමැක් වරුන් ජනගහනයෙන් 4%කි. ඔවුන් පර්ෂියානු සහ පශ්තෝ භාෂා කතා කරති.

තුර්කි සම්භවයක් ඇති තුර්ක් වරුන් ඇෆ්ගනිස්තානයේ උතුරු සහ ඊසාන දිග පෙදෙස් වල වෙසෙති. ඔවුන් ඇෆ්ගන් ජනගහනයෙන් 3% කට දයකත්වය සපයයි. තුර්ක්මන් භාෂාව කතා කරති.

ජනගහනයෙන් 2% ක් වන බලෝච්වරු වෙසෙන්නේ නිරිතදිග ඇෆ්ගනිස්තානයේය. ඔවුන් ඉරාන සම්භවයක් ඇති, පර්සියානු බස මවු බස කරගත් මනුෂ්‍ය කණ්ඩායමකි.

ඇෆ්ගනිස්තාන් ජනගහනයෙන් 4% වෙනත් ජන කණ්ඩායම් වලින් සැදී පවතී . මොවුන් බොහෝ විට ගොත්‍රික සම්භවයක් ඇති ජනතාවය. ඒ අතර පශාර්, නූරුස්තානි, අරාබි, ගජාර්, පාමීරි, කිරිගිස්, සදාත් ආදී හු වෙති.

විවිධ ජන වර්ග පැවතීම ඇෆ්ගනිස්තානයේ සාරවත් සංස්කෘතියට හේතුවක් වුවත්, එමඟින් ඇතිවන ගැටුම්ද, පීඩනයද බහුල බවද නොකියාම බැරිය.


විවිධත්වයෙන් යුත් ඇෆ්ගන් ජනයා. (සේයාරුව අන්තර්ජාලයෙනි )

කෑම බීම: ප්‍රදාන ආහරය වන්නේ පාන්, බත් සහ රොටීය. ඇෆ්ගන් පාන්, සිලින්ඩරාකාර මැටි උදුනක් තුල බහා පුලුස්සා ගන්නා පැතලි පාන් විශේෂයකි. දියමන්ති, රවුම්, සෘජුකෝනාශ්‍රාකාර, හතරැස් ආදී විවිධ හැඩ වලින් යුක්තය. පාන් පිටි වලින් පුළුස්සා ගන්නා මෙම පාන් ඇෆ්ගන් නාන්, හෝ නානි ලෙස හැඳින්වේ. මෙම පාන්, ඇෆ්ගනිස්තානයේ ඕනෑම අස්සකින් මුල්ලකින් උවද මිල දී ගත හැක. පාන් සමඟ කෑමට තක්කාලි, පිපිඥ්ඥා, කොමඩු මුසු සලාදද, ඇඹුල් රසැති යෝගට් ද, බෝංචි තම්බා සැකසු ව්‍යංජනද යොදා ගනී. බහුල වශයෙන්ම පාන් ආහරයට ගන්නේ මස් සමඟය. ගව, එළු හා බැටළු මස් ප්‍රධාන මස් වර්ග තුනයි. ඊට අමතරව වටු සහ කුකුල් මස්ද, බිත්තරද ආහාරයට ගනී. මෙම මස් වර්ග බොහෝවිට රසවත් ස්ටුවක් ලෙසද, තම්බා හෝ පුලුස්සාද ආහාරයට ගැනේ. ඇෆ්ගනිස්තානය තුල මස් පිසිනාකාර විශාල වශයෙන් ඇත. කුඩා ප්‍රමාණයේ එළුවන් හෝ බැටළුවන් සම්පූර්ණ වශයෙන් සාස්පාන් තුල බහා ඇට මිදුළු දක්වා මෙලෙක් වන තුරු පැය කිහිපක් පිසීමෙන් ඉතා රසවත් ආහරයක් පිලියෙල වේ. ඊට අමතරව ශවර්මා හා කෙබාබ් ක්‍රමය ප්‍රචලිතය. කෙබාබ් යනු, තුනපහ යොදා පදම් කරන ලද මස් කැබලි උල් තුඩක් සහිත කූරු වල අමුණා අඟුරු ගින්දරක් උඩ පිසීමෙන් සාදා ගන්න කෑමකි. මේවා පාන් සමඟ ආහාරයට ගත හැකිය. අප, කෙබාබ් සමඟ පාන් ආහාරයට ගැනීම සතියේ අවසන් දිනට සීමා කලේ කුළු බඩු අධික පිපාසයක් සහ නිදිමත ඇති කරන නිසාය!


ඇෆ්ගන් පාන් (නාන්). අන්තර්ජාලයේ සේයා රුවකි


සාම්ප්‍රදායික කෙබාබ් පිසීම


පිසින ලද සම්පූර්ණ බැටළුවෙක්

ඇෆ්ගන් වැසියන් මාලු සහ මුහුදු ආහාර වැඩි මනත් ආහාරයට නොගන්නේ එහි මුහුදක් නොමැති නිසාය. කෙසේ වෙතත්, වසන්ත හා ගිම්හාන කාල වලදී ගංගා වල මාළු ඇල්ලීම සිදු වේ. මෙම මසුන් ආඳන් වැනි මෙලෙක් මසින් යුතුය. ගැඹුරු තෙලෙහි පිටි දවටා බැද ආහාරයට ගනු ලැබේ. සුපිරි වෙළඳ සැල් වල, ඉස්සන්, කකුළුවන්, බෙල්ලන්, සැමන් මසුන් ආදී ආනයනික මත්ස්‍ය ආහාර විකිනීමට ඇතත්, සාමාන්‍ය දිලිඳු ජනයාට මිලදී ගැනීම උගහටය.

රොටි වර්ග අල පිටි, බතල පිටි හා පාන් පිටි භාවිතයෙන් පුලුස්සනු ලබයි. මෙම රොටීද, පාන් ආහාරයට ගන්නා ව්‍යංජන සමගම බුදිනු ලැබේ.

ඇෆ්ගනිස්තානයේ වී ගොවිතැන බහුල නැත. වාර්ෂික සාමාන්‍ය සහල් පරිභෝජනය එක් පුද්ගලයෙකුට කිලෝ 17ක් පමණ අඩු අගයකි. (පාන් පිටි පරිභෝජනය, මෙයට සාපේක්ෂව කිලෝ 200 ක් තරම් ඉහල අගයක් ගනී) වෙලඳ පොලේ විකිණීමට ඇත්තේ පාකිස්තානු බාස්මතී සහල් ය. මෙම සහල් රළුය, තත්වයෙන් බාලය. එබැවින් අප මෙන් සහල් වතුරෙන් පිස පමණක් ආහාරයට ගැනෙන්නේ නැත. පිසූ බත්, තෙල්, සීනි සහ වියලි මිදි වැනි ඇට වර්ගයක් සහ කුළු බඩු එක්කර බුරියානි මෙන් නැවත පිසිනු ලැබේ. අධික වශයෙන් තෙල් සහ සීනි එක්කරන නිසා මෙම සහල් එතරම් ගුණ දායක නැත. මම, කිසිත් එක් නොකර බත් බුදින බව දැක, එක ඇෆ්ගනිස්තානුවෙක් 'අමුවෙන් බත් කන්නේ කෙසේදැයි?' මගෙන් විමසීය. බත් සඳහා ව්‍යාංජන රොටී සහ පාන් සඳහා මෙන්මය. බත් සමඟ මස් එකතු කර, බුරියානි ආකාරයෙන් පිසීමද බහුලව සිදුවේ.

බත් සමඟ පිසින ලද මස්

කෙබාබ් සහ වටු මස් සමඟ බත්

ඇෆ්ගන් වැසියන් ආහරයෙන් පසු අතුරුපස ලෙස ගන්නේ බොහෝ විට පලතුරුය. ඇපල්, පීච්, පෙයාර්ස්, මිදි, කොමඩු සහ දෙළුම් බහුලව එරට තුල වගා කෙරෙන පලතුරුය. මෙම පලතුරු ප්‍රණීතය, පිරිසිදුය. ඊට අමතරව යෝගට් අතුරුපසක් ලෙසද ගනී. කේක් සහ බිස්කට් ඇතැම් විට ඇත.

රසකැවිලි ලෙස, පිටියෙන් පිසූ ආහාර බොහොමයක් ඇත. කාබුල් හි, ප්‍රනීත කේක් නිපදවන බේකරි එමට ඇත. ශ්‍රී ලංකාවේ මෙන් වැඩ දැමූ කේක් ඇණවුම් කර පරිශ්‍රය තුලට ගෙන්වා ගත හැක. බිස්කට් වර්ග, බනිස් වර්ග ආදිය ඇත. එකම රසයේ කේක් කැබලි වුවත්, එකිනෙකට වෙනස් ලෙස හැඩ ගැන්වේ.  බිස්කට් වර්ග, විවිධ හැඩති වුවත්, එකම රසැතිය. ශ්‍රී ලංකාවේ මෙන් මිරිස් දැමූ සේවරි විස්කෝතු එහි නැත. ඇතැම් විට මම ලංකාවෙන් සේවරි බිස්කට් රැගෙන ගිය විට, එයට ඉහල ඉල්ලුමක් ඇත.

ප්‍රදාන ආහාර වලට අමතරව, අනෙක් වේලාවට බහුල වශයෙන් ගන්නේ ඇට වර්ගය.  පිස්ටාචියෝ, ආමන්ඩ්, වොල්නට්, කජු, වියලි මිදි, වියලි පීච්, කඩල ආදී ඇට වර්ග, ඉතා සහසු මිලට ඇෆ්ගනිස්තානය තුල මිලදී ගත හැක. සෑම කාර්යාලයක හෝ නිවසකම, මෙවන් ඇට වර්ග පිර වූ දීසියක් තබා ඇත්තේ, රිසි ලෙස රැගෙන අනුභව කිරීම සඳහාය. ඇෆ්ගනිස්තානය, ආර්ද්‍රතාවය අවම රටකි. වියලි කාලයන්හිදී සාපෙක්ෂ ආර්ද්‍රතාවය 7% ක් පමණ වේ. එබැවින්, ඇට වර්ග වාතයට නිරාවරණය කර තැබීමෙන් පෙඟෙන්නේ නැත, පුස් අල්ලන්නේ නැත. (ආර්ද්‍රතාවය අඩු වීමේඑක් ගැටලුවක් නම් සම වියලීමයි. වැසි නැති බහුතර දිනවල, ශරීරය පුරා මොයිශ්චරයිසින් ක්‍රීම් තවරාගෙන සිටිය යුතුය. නැතහොත්, සම වියලී පැලී වේදනාත්මක තුවාල ඇති වේ.) ශ්‍රී ලංකාවේ මෙම ඇට වර්ග වල මිලට සාපෙක්ෂව ඇෆ්ගනිස්තානයේ මිල 20% ක් තරම් අඩු අගයකි.


ඇට වර්ග. අන්තර්ජාලයේ සේයා රුවකි

ඇෆ්ගන් වැසියෝ නිතරම කොල තේ (Green tea) බොති. කලු තේ (Black tea) භාවිතය ඇතත්, අවමය. බහුලව විකිණීමට ඇති තේ වර්ගයක් වන්නේ 'අලොකොසායි (alokozay)' නැමති කර්මාන්තශාලාවක් අසුරන තේය. ඇෆ්ගනිස්තානයේ තේ වගාවක් නැති බැවින්, මෙලෙස අසුරන්නේ ලෝකයේ නන් දෙසින් රැගෙන එන තේය. විශ්මයට කරුණ වන්නේ එම තේ පැකට්ටු වල 'පිරිසිදු ලාංකික තේ (pure Ceylon tea)' ලෙස සඳහන්ව තිබීමයි. එම තේ ශ්‍රී ලාංකික කොල තේ වලට 'අලගු තැබීමටවත්' නොහැකි බව ඔප්පු කර පෙන්වීමට, මම මෙරටට පැමිණ යන වාරයක් පාසාම, තේ කිලෝවක් පමණ රැගෙන ගොස් කාර්යාලය පුරාම බෙදා හැරියෙමි. තේ වලට සීනි දියකිරීමක් නොමැත. සීනි කැට, රසකැවිලි හෝ ටොෆී වර්ගයක් සමඟ තේ බීමයි සිරිත. තේ වලට අමතරව කිරිද බීමක් වශයෙන් ප්‍රචලිතය. මේ කිරි එලකිරි හෝ එළුකිරි වේ.


මගේ උපන් දිනය දා, උපන් දින කේක්

ඊට අමතරව, පලතුරු බීම සහ සෝඩා වර්ග නිපදවන කර්මාන්තශාලා කාබුල් නුවර බහුලව ඇත. මෙවැනි බීම වර්ගද ඉතා ප්‍රචලිතය. ඇෆ්ගන් වැසියෝ සමහර දෙනෙක්, දුම් පානයටත්, මත් පැන් පානයටත් හුරුව සිටිති. (සුප්‍රකට හෙරොයින් පිලිඹඳව මෙහි සඳහන් කිරීමට මගේ කැමැත්තක් නැත) උත්සව සමයට, ඇතමෙක් බියර්, වයින් ආදිය මිද දීගෙන දෙන ලෙස අපෙන් ඉල්ලා සිටිති. (යුනෝකා පරිශ්‍රයේ නේවාසිකයන්ට බද්දෙන් තොරව මිලදී ගත හැකි සම්මත මත් පැන් කෝටාවක් ඇත. මගේ කෝටාව බොන්නේ අන් අයය) ඇෆ්ගන් ගුවන් තොටේදී මත් පැන් ලීටර් දෙකක් රට තුලට රැගෙන යාමට වසර ලැබේ. වැඩි මනත් මත් පැන් බෝතල අත් අඩංගුවට ගන්න නමුත්, ඒවා කාණුවට හැලේ යයි මම විශ්වාස නොකරමි!

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!