ඇෆ්ගන් කතා 11:කාර්යාල ජීවිතේ
ඇෆ්ගනිස්තානයේ සේවා ජීවිතය කිහිප ආකාරයකින් මට අතිශයින්ම වැදගත්ය. පලමුවැන්න නම්, විදේශ රටක වසර හතරක් සේවය කල මුල් අවස්තාව වීමය. ඊට පෙර, වෙනත් රටවල් කිහිපයක සති කිහිපයකට සීමා වී සේවය කර ඇතත්, පූර්ණ හා දිගු කාලීනව සේවය කර නැත්තෙමි. දෙවනුව, ඉස්ලාම් ධර්මය අදහන රටක සේවය කල මුල් අවස්තාව වීමයි. ආගමානුකූලව හර පද්ධතීන්ද සකස් වන නිසා, එය වෙනත්ම අත්දැකීමකි. ශ්‍රී ලංකාවේ පවතින්නේ ස්ත්‍රීභාවී සමාජ ක්‍රමයක් (Feminine Social pattern) වන අතර ඇෆ්ගනිස්තානයේ පවතින්නේ පුරුෂභාවී සමාජ ක්‍රමයකි (Masculine social pattern). ස්ත්‍රීභාවී සමාජ ක්‍රමයක ස්ත්‍රීන් හා පුරුෂයන් සිදු කරන කාර්යයන් පිලිඹද පැහැදිලි බෙදීමක් නොමැති අතර, පුරුෂභාවී සමාජයක ස්ත්‍රීන් බොහෝ විට රැකබලා ගැනීම සහ ජීවන තත්වය උසස් කිරීමේ කාර්යයන්හි යෙදී සිටිති. ඊට අමතරව, පුරුෂභාවී සමාජයක, අනුන්ගේ කටයුතු කෙරෙහි ස්වයං මැදිහත් වීම අඩුය.
ඇෆ්ගනිතානයේ මගේ කණ්ඩායම ඉතාමත් හොඳ එකක් විය. මා එහි යනවිට දෙශීය ඉන්ජිනේරුවන් දෙදෙනෙක් සහ විදේශීය ඉන්ජිනේරුවෙක්, සේවයේ යෙදී සිටියේය. විදේශීය ඉන්ජිනේරුවා, නේපාල ජාතික භක්තා ගුරුංය. භක්තා, ඊට පෙර එක්සත් ජාතීන් වෙනුවෙන් සේවය කර අත්දැකීම් රාශියක් ලබා තිබූ පරිණත ඉන්ජිනේරුවරයෙකි. එතුමා, වසර දෙකක උපදේශක කොන්තරාත්තුවක් (Consultancy contract) යටතේ සේවයට එක් වී සිටියේය. දේශීය ඉන්ජිනේරුවරුන්ගෙන් දෙදෙනාගෙන් එක් අයෙක් වයෝවෘද්ධය, ඥාණවෘද්ධය. කාබුල් විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාධිය ලබා, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන රැසක් වෙනුවෙන් සේවය කර ඇති ඔහු සබිහුල්ලාහ් අමීරිය. අනෙක් ඉන්ජිනේරුවරයා වන අබ්දුල් හසීබ් අෆ්ටාබ්, ඇෆ්ගනිස්තානයේ කලබලකාරී සමයේ පාකිස්තානයේ ඉගෙනුම ලැබූ තරුණ අයෙකි. දේශීය ඉන්ජිනේරුවන් දෙදෙනම, චතුර ලෙස ඉන්ග්‍රීසි හසුරුවන, සමාජ සම්බන්ධතා ඇති, විශ්වාසවන්ත අයවලුන්ය. ඊට අමතරව, මධ්‍ය කඳුකරයේ පාසල් ව්‍යාපෘතිය සඳහා ගෝර් පලාතට අනුයුක්තව සේවය කල ෆසල් රහ්මාන් අහමඩි නම් තවත් ඉන්ජිනේරුවරයෙක් සිටියේය. ඔහු මට මුණ ගැසුනේ සේවයට එක් වී මාස තුනකට පමණ පසුවය. මගේ සුපරීක්ෂකයා වූ අන්ද්‍රේ, මා ලංකාවේ සේවය කල කාලයේ, කාර්යාලයේ සේවය කලේය. එබැවින් ඔහු සමඟ රාජකාරි කිරීමේ රටාව මම දැන සිටියෙමි. මෙවන් කණ්ඩායමක් සමඟ සේවය කරන්නට ලැබීම මා ලද අති මහත් භාග්‍යයක් බව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
ඇෆ්ගනිස්තානය, ඉස්ලාම් ආගම අදහන බහුතරයෙන් යුතු රටක් නිසා, වැඩ කරන සතිය ඉරිදා සිට බ්‍රහස්ප්‍රතින්දා දක්වාය. දහවල් පැය බාගයක් ආගම ඇදහීම සඳහා පල්ලියට යෑමට අවසර ලැබේ. කාර්යාල වේලාව උදෑසන 8 සිට සවස 4.30 දක්වා වන අතර, විදේශයන්හි සිට පැමිණ සිටින අප, අවශ්‍යතාවයන්ට අනුව වැඩි වේලාවක් රැඳී සිටියත්, දේශීය සේවකයන්ට එසේ රැඳී සිටීමට නොහැක. ඔවුන් නියමිත වේලාවන්ට කාර්යාලයෙන් පිටවිය යුත්තේ ආරක්ෂක තත්ත්වය සහ ප්‍රවාහන පහසුකම් වල ඇති අඩු ලුහුඬුතාවයන් නිසාය. කෙසේ උවත් ඇතැම් අත්‍යාවශ්‍ය තත්ව වලදී , ඉද හිට වරක් සති අන්තයේදී කාර්යාලයට පැමිණීමට අප පුරුදුව සිටියෙමු. එකසත් ජාතීන්ගේ ලමා අරමුදලේ (UNICEF) ප්‍රතිපත්තීන්ට අනුකූලව, ඇෆ්ගනිස්තානය වැනි දුෂ්කර සේවා ස්තාන වල සති අන්තයේ හෝ වැඩි පැය ගනන් සේවය කිරීම අනුමත කරන්නේ නැත. නිසි කලමනාකරණයෙන් යුතුව, සේවා කාලය තුල එම කටයුතු නිම කිරීම බලාපොරොත්තු වේ.
කාර්යාලයේ කෑම පැය භාගය 12 සිට 12.30 දක්වා හෝ, 12.30 සිට 1 දක්වාය. ඇෆ්ගන් ආහාර සහිත ආපන ශාලාවක්, බටහිර ආහාර ගත හැකි අවන් හලක් හා පීසා අවන් හලක් කාර්යාල පරිශ්‍රයට සමීපව පවතී. ඒවායෙන් ආහාර ගැනීමට එක් විට යාමට අපගෙ අක්ණ්ඩායම හුරු වී සිටියෙමු . වසන්ත කාලයේ නම් සියල්ලන්ම ආහාර ගැනීමෙන් අනතුරුව පරිශ්‍රය වටා කෙටි සක්මනක් සඳහාද එක්වේ. ආහාර ගැනීමේ නඩයට, අපගේ කණ්ඩායමට වෙනත් අංශ කිහිපයක අය පසු කාලීනව එක් වූහ. එසේ එක්වූ ශර්පූරි නම් ඉතා දීප්තිමත් අනාගතයක් තිබූ දක්ෂ තරුණයෙක්, හිටිහැටියේම නමක් නොදන්නා රෝගයක් වැලඳී මිය ගියේය.
ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක තත්වය ඉතාමත් අස්තාවරය. ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ලබාදෙන තොරතුරු මත ආරක්ෂක තත්ත්වය නිර්ණය කෙරේ. ඒ අනුව වර්ණ කේත ක්‍රමයක් මඟින් ආරක්ෂක තත්වය පෙන්නුම් කෙරෙන අතර, ඒ අනුව සේවා ස්තානයද වෙනසකට භාජනය වේ. මේ වර්ණ කේත ක්‍රමය සරලව මෙසේ දැක් විය හැකිය.
- ග්‍රීන් සිටි [Green City] : සාමන්‍ය ආරක්ෂක තත්වය, කාර්යාල සුපුරුදු පරිදි පවත්වාගෙන යෑම
- ග්‍රේ සිටි [Gray City] :ආරක්ෂක තත්වය සුලු වශයෙන් අවදානම් සහගතය,
කාර්යාලයෙන් පිටවීම අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණි. දේශීය
සේවකයන් එක් අංශයකට එක් අයෙක් බැගින් සේවයට පැමිණේ.
- වයිට් සිටි [White City] :ආරක්ෂක තත්වය අවදානම්. පරිශ්‍රයෙන් පිටවීම තහනම්, දේශීය සේවයන් පැමිනීම අවමය.
මීට අමතරව, හදිසි ප්‍රහාරක තත්ත්වයකදී පරිශ්‍රයෙන් පිටවී යාම දක්වා, වර්ණ කේත ක්‍රමයක් ඇතත්, එම සංකීර්ණ ක්‍රම වේදය මෙහි ලා සඳහන් කරන්නේ නැත.
මා ඇෆ්ගනිස්තානයේ සිටි සමයේ, ඉහත ආරක්ෂක තත්ත්ව තුනින් එහාට වෙනත් අවදානමක් ඇති වූයේ නැත. ග්‍රේ සිටි හෝ වයිට් සිටි අවස්තාවන්හිදී දේශීය සේවකයන් නිවෙස් වල සිට සේවය කල යුතුය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය නම් අන්තර්ජාල ජාල සබඳතා කාර්යාලය මඟින් ලබා දෙයි. විදුලිය විදුලිය බිඳ වැටීම හා කප්පාදුව බහුල, අන්තර්ජාල ආවරණය අඩු, අනාරක්ශිත රටක මේ ක්‍රමය එතරම්ම ඵලදායී නොවේ.
කාර්යාලයේ විදේශීය නිලධාරීන් අතරින් 50% ක පමණ කාන්තාවන්ය. දේශීය නිලධාරීන් අතර එම ප්‍රතිශතය 30% ක් පමණි. ඇෆ්ගනිස්තානය තුල කාන්තාවන්ට සේවයට පැමිණීමට ඇති අපහසුතා සලකා බැලීමේදී, එම 30% ද පැසසිය යුතු අගයකි. ආචර්ය උපාධිය ලත් කාන්තාවන් කීප දෙනෙක්ම අප සමඟ සේවය කලහ. කාන්තාවන්ට සේවයට එක්වීමට ආයතනය විසින් සැලසිය හැකි උපරිම පහසුකම් සැපයේ. වැටුප් සහිතව, මාස හයක මාතෘ නිවාඩු ලැබේ. දරුවන් දිවා කල රැක බලා ගැනීමට, දිවා සුරකුම් මධ්‍යස්තානයක් පරිශ්‍රයේම ඇත. එහි, සේවයේ නියුතු මවුවරුන්ට දරුවන්ට මවු කිරි දීමට ඇතුළු සියළු පහසුකම් ඇත. මෙම දිවා සුරැකුම් මධ්‍යස්තානය, මගේ කාර්යාලයේ පිටුපස දොරට පේන මානයේ පිහිටා තිබුණි. සේවාමය ගැටළුවකට මැදිවී හිස තෝන්තුවා වූ විට, එලියට ගොස් දරුවන් ක්‍රීඩා කරන දෙස බලා සිටීම, ඔවුන්ගේ 'කිචි බිචි' හඬට සවන් දීම, භාවනාමය අත්දැකීමකි.
සේවයට එක් වූ මුලදීම, පාසල් 70 ව්‍යාපෘතිය සඳහා සේවක සංඛ්‍යාවේ මදි පාඩුවක් ඇති බව පැහැදිලිව පෙනුනි. මුලින් සදන්න්හන් කල දේශීය ඉන්ජිනේරුවන් තිදෙනාගෙන දෙදෙනෙක්, බාමියන් සහ ගෝර් පලාත් සඳහා අනුයුක්ත කර තිබූ අතර, අනෙක් ඉන්ජිනේරුවරයා අත්‍යාවශ්‍යයෙන්ම කාර්යාල පරිශ්‍රයේ සිටිය යුතු වූයේ, ලිපි ගොනු සැකසීම, ගෙවීම් අනුමත කිරීම ආදී කාර්ය රාශියක් වූ නිසාය. මේ නිසා මම දයිකුන්ඩි පලාතට විශේෂයෙන්ම වෙන්වූ ඉන්ජිනේරුවරයෙකු අවශ්‍ය බව පාලනාධිකාරියට ඒත්තු ගන්වා, සම්මුඛ සාකච්ඡා සහ ලිඛිත පරීක්ෂණ සැලසුම් කලෙමි. ඒ අනුව, ඉතා ඉහල අද්‍යාපන සුදුසුකම් ඇති, වසර දෙකක් පමණ සේවා අත්දැකීම් ඇති ඉන්ජිනේරුවරයෙක් සේවය සඳහා බඳවා ගන්නට සූදානම් උනෙමි. ඔහුගේ නම හිදයතුල්ලාහ් අමීන්ය. කෙසේ නමුත්, ඔහුට රැකියාව ලැබෙන්නට යන බව දැන, කාර්යාලයේ වයොවෘද්ධ නිලධාරීන් රැසක් ඒ පිලිඹද සාකච්ඡා කරන්නට ඉදිරිපත් වූයේ, මගේ ඉල්ලීමකින් තොරවය. කාර්යාලයේ වැඩි පුර සිටියේ පශ්තූන් වරුන්ය. මා තෝරාගෙන සිටි ඉන්ජිනේරුවරයා සුළුතර තජික් ජනවර්ගයට අයත් අයෙකි. මේ වෙනස නිසා, විරෝධයක් පන නැඟි බව, මට තෙරුම් ගියේ ටික කලකිනි. කේසෙ නමුත්, ඒ විරෝදතා ඉවතලා මම අමීන්ව සේවයට බඳවා ගත්තෙමි. මේ වනවිට ඔහු නිදහස් ශිෂ්‍යත්ව දෙකක් යටතේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය සඳහා ඉගෙනුම ලබයි.
ඇෆ්ගනිස්තාන් සමාජය තුල වයොවෘද්ධ වැඩිහිටියන්ට විශේෂ සැලකීමක් ඇත. වටාපතක් වැනි සුදු රැවුලක් ඇති, ආගමික භක්තිය ඇති පිරිමින් විශේෂ සැලකුම් ලබන්නන්ය. ඔවුන්ට කතා බහ කරන, සලකන ආකාරය වෙසෙස්ය. කාර්යාලය තුලද, මෙවන් තත්ත්වයක් විය. යටකී තුරුම්පුව වැඩිහිටියන් හරහා ඉදිරිපත් වූයේ ඒ නිසාය. ඔබ කුමන තරාතිරමක සිටියත්, මේ සැලකීම ලබා දීමට සිදුවේ. ඉතා ප්‍රවෙශමෙන් කරුණු වටහා දී, වඩාත් සුදුසු තීරණය ගැනීම, ඔබ සතුය. වැරදි තීරණයකින් හානියක් වුවහොත්, ඔබට ඔබ පමණය.
කාර්යාලය තුල තත්ත්වය මෙලෙස යම් සුවදායී මට්ටමක පැවතියත්, කාර්යාලයෙන් පිටස්තර ගනුදෙනු එතරම්ම සුවදායී වූයේ නැත. බාහිර ආයතන දෙකක් සමඟ සබඳතා බිද වැටී, ඒවා නැවත පිලිසකර කල යුතුව තිබුණි. ඉන් පලමුවැන්න නම් ජපන් තානාපති කාර්යාලයයි. ජපන් තානාපතිවරයා බාමියන් සංචාරයක් සඳහා ගිය අවස්තාවක, එහි හමුදා නායකයෙකුගේ නොමනා හැසිරීමක් නිසා ඔහුගේ හිත දැඩිව බිඳී තිබිණි. අප විසින් මූල්‍ය සම්පාදනය කල, පාසලක විවෘත කිරීමේ උත්සවයක් සඳහා එහි ගිය ජපන් තානාපති වරයා පාසලේ මිදුලේ මඳක් අවට සිරි නරඹමින් සිට ඇත. හමුදා නායකයා රිය පෙලපාලියකින් පැමිණ, තානාපතියා වටා දුහුවිලි අවුස්සමින් රවුම් කිහිපයක් ගොස් ඇත. දුහුවිලි වලින් නැහැවුනු තානාපති වරයා, උත්සවයට හෝ සහභාගි වී නැත. ඊට අමතරව, එහි සිදුවූ වෙනත් අකටයුතු කිහිපයක් නිසාම, ඔහු කලකිරීමෙන් සිට ඇත. එතුමා සමඟ සාකච්ඡා වට කිහිපයක් සඳහා ඉල්ලීම් කලත්, අප හා සාකච්ඡාවට පැමිණියේ තනාපති වරයාගේ පලමුවන ලේකම්වරිය පමණකි. ඇයට, සංකීර්ණ ගැටළු වලට මැදිහත් වීමට බලයක් නොමැත. දායකයන් (donors), ඇෆ්ගන් රජය සමඟ ගණුදෙණු කිරීමේදීද තීරණාත්මක සාධකයකි. එබැවින්, මේ ගැටළුව විසඳීම නොකර, අපට ඉදිරියට යාමට නොහැකි තත්වයට පත්විය. ජපාන රජය මූල්‍යාධාට සැපයුවද, එය ඇෆ්ගනිතාන් රජයට හුවමාරු වන්නේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හරහාය (Japan International Cooperation Agency – JICA). මම ඔවුන් වෙතට හැරුණෙමි. එහි, වෙනත් ව්‍යාපෘති අධීක්ෂණය කරන ඉන්ජිනේරුවන් සිටී. ඔවුන් හරහා, ව්‍යාපෘතියේ ගැටළු සාකච්ඡා කර, ඒ හරහා ජපන් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීම අපගේ ප්‍රයත්නය විය. කාලයත් සමඟම, බිඳ වැටුනු සබඳතා, පෙර පරිද්දෙන්ම නොවූවත්, 'වැඩ කල හැකි තරමට' යලි ගොඩනඟා ගැනීමට හැකි විය.
අද්‍යාපන අමාත්‍යාංශය තමන්ගේ පාසල් ගොඩනැඟීමේ කටයුතු සිදු කලේ 'යටිතල පහසුකම් සේවා අමාත්‍යාංශය (Infrastructure Services Department, ISD)' නම් උප අමාත්‍යාංශයක් යටතේය. මෙහි, යුනිසෙෆ් ආයතනයෙන් වැටුප් ලැබූ ඉංජිනේරුවන් විශාල පිරිසක් විය. එහි අධ්‍යක්ෂ වරයා, එම ඉන්ජිනේරුවන්ගේ වැටුප් කපාදුවක් නිසා අප හා සිත් පළුදු කරගෙන සිටියේය. වැටුප් කප්පාදුව, අපගේ දායකයන්ගේ උපදෙස් මත සිදු වූවකි. අද්‍යක්ෂ වරයා බදක්ශානයේ උප්පත්තිය ලැබූ අබ්දුල් මොමින් රාද් නම් මහතෙකි. දක්ෂ ඉංජිනේරුවරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි දක්ෂම නිලධරයෙකි. සිද්ධිය සමතයකට පත් කරන්නට දෙවරක් එතුමා හමු වීමට ගිය මුත් එතුමා මා 'පයිසයකට' ගනන් ගත්තේ නැත. මට වාඩිවන්නට සලස්වා එතුමා තමන්ගේ රාජකාරි වල ඇලී ගැලී සිටියේය., කාට හෝ උපදෙස් දුන්නේය. හිටි ගමන් අතුරුදන් වී ගියේය. මම තව දිනයක් ගියෙමි. එදින තත්ත්වය තරමක් සතුටුදායක විය. මා රස්තියාදු කලාට 'සොරි' කියා කොහේදෝ ගියේය. තුන්වන දින, ඔහු අකමැත්තෙන් මෙන් සාකච්ඡාවට ආවේය. මම නිවිහැනහිල්ලේ තත්ත්වය විස්තර කර දුන්නෙමි. රැවුල්ධාරි අමීරි මා සමඟ විය. කෙමෙන් කෙමෙන් සම්බන්ධය ගොඩ නැගිනි. අවසානයේ එතුමා ව්‍යාපෘතියට සහයෝගය දුන්නේය. එක් අවස්තාවක, එතුමාටත් මටත් ඉතියෝපියාවේ ඉඳිකිරීම් වැඩමුළුවකට සහභාගී වීමටද අවස්තාව ලැබුනි. මිත්‍රත්වය, ව්‍යාපෘතිය නිම කිරීමට තීරණාත්මක සාධකයක්ම විය.
ඉහත කරුණු, දේශගුණික බලපෑම් ආදිය නිසා කාබුල් පරිසරයට අනුගත වීමට, මට තෙමසක් පමණ ගතවිය. ඇෆ්ගානිහු, ලෙහෙසියෙන් මිතුරු නොවෙති. කතා බහ, ආහාර ගැනීම, ඇවිදීමට යාම ආදිය ටික කලක යෙදුණු විට, වටාපතක් සේ රැවුලක් ඇති අයෙකුගේ රෙකමදෝරුව ලැබුණු විට, ඔවුන් දිගුකාලීන මිත්‍රත්වයක් ගොඩනඟා ගනිති. මේ මිත්‍රත්වය නොමැතිව කාබුල් කාර්යාලයේ සේවය කිරීම අපහසුය. එක්සත් ජාතීන්ගේ කාබුල් මෙහෙයුම, ලොව තෙවැනියට විශාලම මෙහෙයුමයි. එහි යුනිසෙෆ් ආයතනේයේ පමණක් සියයකට අදික පිරිසක් සේවයේ යෙදෙති. ඔවුන් හා සුහදව හා මිත්‍රශීලීව වැඩ කිරීම අත්‍යාවශ්‍යය.
ඇෆ්ගනිස්තානයේ ප්‍රකට කියමනක් වෙයි. “You have the watches, we have the time” (ඔබට ඔරලෝසු ඇත, අපට කාලය ඇත). ඇෆ්ගානුන්ට, කල්ප කාලාන්තරයක් හෝ ඔහේ බලා සිටිය හැකිය. කාලය පිලිඹඳ හැඟීම , වියැකී ගොස් ඇත. එම නිසා, ප්‍රමාදය ඔබව පීඩනය සහ ලැජ්ජාවට පත් කරතත්, ඔවුන්ට එය එසේ නැත. මෙම කරුණ නිසා උකටලී හා මන්දෝහිත්සාහී වූ මට, අන්ද්‍රේ මසුරන් උපදෙසක් දුන්නේය. "Rasika, just keep on trying, don’t think much about the target” (රසික, උත්සාහය උපරිමයෙන් පවත්වාගෙන යන්න. ඉලක්ක පිලිඹද නොසිතන්න). එය, ජීවිතයේ මා ලැබූ අගනාම උපදේශයන්ගෙන් එකකි.
තත්ත්වය මෙසේ
උවත්, කාබුල් සහ ඇෆ්ගනිස්තානයේ වශීකරවන සුළු යම් ලක්ෂණයන් ඇත. කාබුල්හි
දිගු කලක් සේවය කර සියල්ලන්ම පාහේ ඉන් සමුගන්නේ හැඬූ කඳුලෙනි. මානික්‍යයක් කොතරම් පහර
ලබූවත්, එහි කාන්තිය සැඟවිය නොහැක. ඇෆ්ගනිස්තානයද එසේමය.
Comments
Post a Comment