ඇෆ්ගන් කතා 7, පාසල් ඉඳිකිරීම

 ජපාන ආධාර යටතේ දයිකුන්ඩි, බාමියන් සහ ගෝර් හි පිලිවෙලින් පාසල් 23ක්, 24ක් සහ 23ක් ඉඳි විය. 2018 වසරේ මම ඇෆ්ගනිස්තානයෙන් සමු ගනිද්දී, වැඩ අවසන් නොවී ඉතිරි වී තිබුණේ පාසල් දෙකක් පමණි. ඒ දයිකුණ්ඩි හි අති දුෂ්කර පෙදෙසක, තලේබාන් පාලනය යටතේ පවතින කලාපයක පාසල් දෙකකි. එම පාසල් දෙකද, 2019 වසර තුල වැඩ නිම වූ බව, මගේ සගයන් මට දන්වා එවා තිබුණේ සතුටිනි. 2012 ඇරඹි පාසල් ව්‍යාපෘතිය, වසර හතකට පසු, 2019 දී අවසාන විය.

මේ පාසල් එලෙස නිම කිරීමේ දුශ්කර අභියෝගයේ පැතිකඩයන්, මේ ලිපියෙන් විස්තර කරනුයේ, හැකි තරම් 'තාක්ශණික නොවන' සරල ආකාරයටය. අප විසින් පාසල් වර්ග දෙකක්, ඇෆ්ගනිස්තානය තුල ඉඳි කලෙමු. මුල් වර්ගය තෙමහල් ගොඩනැඟිලි සහිත සාම්ප්‍රදායික වැර ගැන්වූ කොන්ක්‍රීට් ගොඩනැඟිලිය (Reinforced concrete structures). ලංකාවේද බහුල වශයෙන් ඉඳි කරනු ලබන මේවා ඔබට ආගන්තුක නොවේ.දෙවන වර්ගය, ඇෆ්ගනිස්තානයේ බහුල අමුද්‍රව්‍ය යොදාගනිමින් ඉඳි වූ තනිමහල් පාසල්ය. මේ පිලිඹද යම් අදහසක් ලබා ගැනීම වටී.


පාසල් නිරීක්ෂණ චාරිකාවක් අතරතුර

මේ සාම්ප්‍රදායික පාසල් ගොඩනැඟිලි, කාමර අටක හෝ දහසයක පංති කාමර ගොඬනැගිලි එකකින් හෝ දෙකකින් සමන්විතය. ඕනෑම ප්‍රදේශයක බහුලව ඇති කුමන ආකාරයේ පාෂාණයක් පලා, මෙහි බිත්ති සහ පදනම බැඳිය හැකිය.  බිත්ති, සීතල අවම කිරීමට ද්විත්ව බිත්ති (Double walls) ලෙස සකස් කරන්නේ ඇතුලත වායු කුහරයක් ඇති වන පරිද්දෙනි. බිමට කොන්ක්‍රිට් අතුරා සිමෙන්ති මැද ඇත. ජනේල ආලෝකය අවශ්‍ය තරමට පමණක් ලැබෙන පරිද්දෙන් කුඩාය. ජනේල පියන් විවර වන්නේ ඇතුලටය. ගිම්හානයේ බහුල මැසි මඳුරුවන් පිටත තබන්නට ජනෙලයට පිටින් සිහින් දැලක් සවි කෙරේ. පියස්ස, යකඩ බාල්ක මත ලෑලි අතුරා නිමවේ. ඒ මත මැටි අතුරා සීතල අවම කර, ඒ මත, ලී රාමුවක් සහිත සැහැල්ලු තහඩු වලහයක් නිම කරනු ලැබේ. වහලය මැටි සෝදායෑම වැලක්වීමටය. 

පාසල් බිමෙහි වැසිකිලි අත්‍යාවශ්‍යයෙන්ම ඇත. මේවා උස් පාදමක් මත ඉඳි වූ ජල මුද්‍රිත නොවන 'වල වැසිකිලිය'. ජලය සපයා ගැනීමේ අති දුශ්කර තාව නිසා ජල මුද්‍රිත වැසිකිලි ඉඳිකල නොහැක. වැසිකිලි වලවල් දෙකකින් යුක්ත වන මේවායේ, කලයත් සමග වලෙහි භාවිතය මාරු වේ. මල පහ දිරා ගිය පසු, ඉවත් කර නැවත භාවිතා කෙරේ.

සෑම පාසලකම ක්‍රීඩා පහසුකම් සහ ගේට්ටුවක් දැමූ වට තාප්පයකින් යුක්තය. වට තාප්පයක් නොමැතිව, දැරියන් සහ ගැහැණු ලමෝ පාසල් නො එති. වෙනම ව්‍යාපෘතියක් ලෙස, බීමට සහ පවිත්‍රතා කටයුතු සඳහා ජලය සැපයීමට නල ළිඳක් සෑම පාසලකම කණිනු ලැබේ. මේ නල ළිං, ඇතැම් විට මීටර් 100ක් පමණ ගැඹුරුය. ලිං පිලිඹදව වෙනම ලිපියක් ලියන්නට තරම් කරුණු කාරණා ඇත.

මේ පාසල් ඉඳි කිරීම, කියන්නාක් මෙන් 'කිරි කජු' වූයේ නැත.


ඉදිකර අවසන් කල පාසලක්. මැටියෙන් තැනූ ගොඩනැඟිල්ල පැරණි පාසලයි. 
ලශ්කර්-ඊ-රාහ් පාසල. බාමියන්


ඉඳිකර නිමවූ කාමර අටක පාසල් ගොඩනැඟිල්ලක්. ඉදිරියෙන් ඇත්තේ ගැඹුරි ලිඳක් කණින උපකරණ කට්ටලයකි. කෆ්කුල් විදුහල, බාමියන්

ඇෆ්ගනිස්තානය, දූෂණය ඉහ වහා ගිය රටකි. ඉහල සිට පහලට ගසා කන්නෝය. ඇමති වරයාගේ සිට වැඩ බිමේ බිල් අනුමත කරන නිලධාරියා දක්වාම සන්තෝසම් නොගෙන ඇඟිල්ලක් හෝ සොලවන්නේ නැත. මෙම තත්ත්වය, අපගේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොරය. කල හැකි එකම බලපෑම, ඔවුන් සමඟ හොඳ හිත පවත්වාගෙන, බලපෑම් හා සන්තෝසම අවම කිරීම පමණි. ඇෆ්ගානියන් ලේසියෙන් මිතුරු නොවෙති. මිතුරු වුවහොත්, එය දිගුකාලීනය. පාසල් තැනීමට නොව, කාර්යාලයේ යම් කටයුත්තක් කරගැනීමට පවා ඒ මිත්‍රත්වය නැතුවම බැරිය.  මෙම දූෂිත තත්ත්වය නිසා, පාසල් සඳහා වෙන් කරන මුදලින් 50% ක් හෝ ඊටත් වඩා කාගේ හෝ සාක්කුවකට යයි. ඇෆ්ගනිස්තානයේ දේශපාලකයින් වෙසෙන්නේ විදෙස් ගතවය. ඔවුන් ද්විත්ව පුරවැසියන් වෙත්. ගිම්හානයත්, සිසිරයත් තුර්කිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය සහ ඇමරිකාව වැනි රට වල ගෙවා දමන ඔවුහු, වසන්ත සමයට මව් රටට ගොඩ බසිති. දස දහස් ගනනින්යටිමඩි ගසා ගනිති. පිටව යති.

මෙලෙස ව්‍යාපෘතියෙහි මුදලින් හරි අඩක් පමණ කාගේ හෝ සාක්කුවකට වැටුනු විට, කොන්ත්‍රාත්කරුවා ඒ ඉතිරියෙන් ලාභයක් ලබා ගත යුතු නිසා, කෙසේ හෝ පාසලක් අටවා ලාභයක් ලබා ගැනීමට මාන බලති. නුපුහුණු, ලාභ ශ්‍රමිකයන්ගෙන් වැඩ ගනිති, ඔවුන්ට මුදල් නොගෙවා පැන යති. ණයට අමුද්‍රව්‍ය ලබා ගෙන අතුරුදහන් වෙති. බාලම අමුද්‍රව්‍ය යොදා ගනිති. ඉවසිල්ලෙන් බොරු කියති.

කඳුකරයේ නිවාස සහ ගොඩනැගිලි ඉඳි වන්නේ මැටි සහ අමු ලී දඬු උපයෝගිත්වයෙනි. සිමෙන්ති සහ කොන්ක්‍රීට් වැඩ දන්නේ අල්ප දෙනෙකි. ඔවුන්ගේ සේවය කොන්ත්‍රාත්කරුවන් ලබා නොගන්නේ ගාස්තු අධික නිසාය. අඩු වියදම් කම්කරුවෝ සිමෙන්ති සිතෙන ලෙසකට අනති. දිය, ගල් වැඩියෙන් දමති. සිමෙන්ති ගෝනිය පිටින් බාල්දියට දිය කර, ඉන් මැට්ටක් තනා ගෙන බිත්ති බැඳි  තරුණයෙක්ද විය! අප, ඉඳිකිරීම් පුහුණු සම්මන්ත්‍රණ මාලාවක් සහ ප්‍රායෝගික වැඩමුළු කිහිපයක් කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන්ගේ සේවකයන්ට පැවත්වූයෙමු.මටත්, මගේ සහයක ඉංජිනේරුවන්ටත්, බාසුන්නැහේලාට සිමෙන්ති අනන හැටිද කියදීමට සිදුවූ වාර ගනන අප්‍රමාණය.

 බැරිම තැන, විශේෂ වාර්තාවක් ලියා, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කිරීමට, පලාත් තුනටම ඉන්ජිනේරුවන් තිදෙනෙක් බඳවා ගැනීමට පත්‍රිකාවක් අනුමත කරවා ගතිමු. ඒ තිදෙනාගෙන් කෙනෙක්, ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් වීම අපේ හිස මත කඩා වැටුනු තවත් මරාලයකි. මේ පුද්ගලයා උවමනාවෙන්ම වැඩ ප්‍රමාද කලේය. වැඩ ප්‍රමාද වන තරමට ඔහුගේ කොන්තරාත්තුව දිගුවේ. ඇෆ්ගනිස්තානයේ කඳුකර පෙදෙස් වල ඉඳිකිරීම් කටයුතු කල හැක්කේ මාස 6 ක් 8 ක් පමණ සුළු කාලයකදී පමණි. ඉතිරි කාල වල දිය මිදේ. මේ සුළු කාලයද 'හෙංචයියා' කා දමන්නට පටන් ගත්තේය.අවසාන වශයෙන්, අවුරුද්දක පමණ වෙහෙසකින් පසු, ඔහු එතනින් ඉවත්කරගන්නට මට හැකි විය.

කොන්ත්‍රාත්කරුවා පාසල නිමවා, පොලු තබා පිටව ගිය පසු, ගැමියන් ගොඩවන්නේ අපේ ඇඟටය. ණය තුරස් ගෙවා දමන තෙක් පාසල විවෘත කරන්නට නොදෙන බව, ඔවුන් අපට දන්වා එවති. කොන්ත්‍රාත්කරුවන් ගෙන්වා විමසූ විට, ණය නැතැයි කියති. කිසි දෙයක් ලිඛිතව නැති නිසා අපට මැදිහත් වීමට නොහැක. ගැමියන්ගෙන් ගණන විමසූ විට ඇදහිය නොහැකි ගනන් මිණුම් පවසති. එක් දිනක්, බාමියන් සිට යකවලන්ග් දක්වා මාර්ගයේදී, කොන්ත්‍රාත්කරුවන් මාර්ගය හරස් කර අපගේ වාහනය නවතා අරෝවකට ලක ලැහැස්ති වූහ. පොලිසිය මැදිහත් වී අප බේරාගත්හ. අවසානයේ අපගේ පිහිටට ආවේ පලාත් භාර අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්ය. පාසල් නිමවා, දරුවන්ට පහසුකම් සැලසීමට සැබෑ උවමනාවක් තිබූ ඔව්හු, කොන්ත්‍රාත්කරුවන් සහ ගැමියන් සමඟ සාකච්ඡා පවත්වා ප්‍රශ්ණය විසඳා දුන්හ.

රොයිසෑන්ග් උසස් බාලිකා විද්‍යාලය, බාමියන්


පෙශෝක් බාලක හා බාලිකා පාසල්, විවෘත කිරීමේ උත්සව අවස්ථාව

කොශ්කක් පිරිමි විදුහල, ගෝර්

මේ අතීත කතාවකි. අවසානයේ පාසල් සියල්ල සදා නිම විය. ජපන් අරමුදල් සම්පාදකයෝ ඇෆ්ගනිස්තානයේ සිදුකර ආයෝජනමය ව්‍යාපෘති අතරින් සාර්තකම ව්‍යාපෘතියක් ලෙස සලකන 'මධ්‍ය කඳුකරයේ පාසල් ව්‍යාපෘතිය ' වෙනුවෙන් විශේෂ ස්තූතියක්, ඒ වන විට ලංකාවේ සිටි මා වෙත එවීමට තරම් ඔවුහු කාරුණික වූහ.  තවමත්, ඒ මතකය අතිශය සොඳුරුය, දීප්තිමත්ය, පැහැබරය. ඇෆ්ගන් මධ්‍ය කඳුකරයේ ලමුන් අධ්‍යාපනය ලබන්නේ ඉතා අවම පහසුකම් යටතේය. පාසල් ගොඩනැඟිලි, මැටි ගැසූ, පසෙකට ඇලවූ ඉතා අවඳානම් ඉඳිකිරීම්ය. පන්තියකට සිසුන් හත් දෙනෙකුට, අට දෙනෙකුට වඩා පහසුකම් සැලසිය නොහැක. ඒ තරම් පහසුකම් ඇති පාසල් ඇත්තේද අතලොස්සකි. තමන්ගේ පාරම්පරික ඉඩම් වල, තමන් විසින්ම පාසල් පිහිටුවා තමන් විසින්ම අධ්‍යාපනය ලබා දෙන ශේරේෂ්ඨ ඇෆ්ගන් වැසියන් එමට මට හමු විය. දරුවන් ගස් යට, ගල් යට උක්කුටයෙන් හෝ තප්පල්න් ගසා ගෙන හිඳගෙන උගනිති. වැසිකිලි ආදිය නොමැති නිසා වැඩි විය පත් දැරියෝ මේවාට නො එති. බොහෝ පාසල්, එක්සත් ජාතීන්ගේ විවිධාකාර ආයතන ලබා දුන් තාවකාලික කූඩාරම් තුල පැවැත්වේ. එවන් පසු බිමක, පාසල් 70ක් සම්පූර්ණයෙන් ඉඳිකිරීම, ඉතා වැදගත් ව්‍යාපෘතියකි. අප, මිශ්‍ර, ගැහැණු හා පිරිමි පාසල් ඉඳි කලෙමු. මෙම ව්‍යාපෘතියට අමතරව කාබුල් නුවර පන්ති කාමර දහසක් ඉඳිකිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූයේද ජපන් ආධාර යටතේය.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ