ඇෆ්ගන් කතා 10: සමාජය සහ ජන ජීවිතය

 1978 සෝවියට් දේශයේ මැදිහත් වීමෙන් ඇතිවුන යුද්ධයත්, 1992 සිට 1996 දක්වා වූ සිවිල් යුද්ධයත් 1996 සිට 2001 දක්වා වූ තලේබාන් පාලනයත් නිසා විනාශ වූ රටක් බවට පත් වීමට පෙර, ඇෆ්ගනිස්තානය, දකුණු ආසියාවේ දියුණුම රටකි. එකල, දකුණු ආසියාවේ දියුණුම තත්ත්වයේ රටවල් වූයේ ඇෆ්ගනිස්තානය සහ ලංකාවයි. ලංකාවද, 1970-1977 කාලය තුල දරුණු ආර්තික පසු බෑමකට ලක්ව තිබූ නිසා, ඇෆ්ගනිස්තානය ඉදිරියෙන්ම සිටි රට බවට විවාදයකින් තොරව එකඟ විය හැකිය. මේ කාලයෙන් පසු,ඇෆ්ගනිස්තානය මුජහිදීන් හා තලේබාන් යන ඉස්ලාමීය අන්තවාදී ගොදුරු බවට පත් විය. (මේ සමබ්න්දයෙන් වැඩි දුර තොරතුරු අන්තර්ජාලය පිරික්සා දැන ගත හැකිය. මේ ලිපියේ අරමුණ ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය හා බිඳ වැටීම විග්‍රහ කිරීම නොවේ) සමුර්ධිමත් කාලයේ නටබුන්, කාබුල් නුවර හැම තැනම තාමත් දක්නට ලැබේ. අත් හැර දැමූ වීදි ලාම්පු කණු, ට්‍රෑම් රථ සඳහා විදුලිය සැපයූ කුලුණු සහ ඇතැම් තැන් වල යුද්ධයෙන් විනාශ වී මුඩුක්කු බවට පත් වූ ගොඩනැඟිලි, සිත් තුල ශෝකයක් ජනිත කරවයි. 1978 න් පසු උපන් අපේ කාලයේ පරපුර, සාමකාමී රටක් කිසි දිනෙක දැක නැත. ඔවුන්ගේ සිතුම් පැතුම්, හැසිරීම්, බලාපොරොත්තු ආදිය, ඒ කුරිරු අත්දැකීම සහ හැල හැප්පීම මඟින් හැඩ ගන්වා ඇත.

2001 වසරේ ඇමරිකානු ප්‍රහාර හමුවේ තලේබාන් පාලනය බිඳ වැටීමෙන් පසුව, ජනාධිපති හමීඩ් කර්සායි යටතේ අන්තර්වාර රජයක් පිහිටුවා බිඳ වැටුනු දේශය නැන්වීමට යම් උත්සාහයක් දැරුවද, එය එතරම් සාර්තක නොවීය. තලේබාන් වරු මුලුමනින්ම මර්දනය කල නොහැකි වීම, රාජ්‍ය දූෂණය, අයහපත් අසල්වැසියන්, විදේශාධාර අවම වීම යන කාරණා ඒ සඳහා ප්‍රබල ලෙසම බලපෑවේය. 2014 දී එරට පැවති මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණය ජයගත් අශ්‍රොෆ් ඝානි, වර්තමානයේ ඇෆ්ගනිස්තානයේ ජනාධිපති වරයාය. එතුමා මානව විද්‍යාව පිලිඹද මහාචාර්ය වරයෙකි. උගතෙකි, බුද්ධිමතෙකි.






යුද්ධයට පෙර ඇෆ්ගනිස්තානය. සේයාරූ ආචාර්ය විලියම් පොඩ්ලික් විසින් 1960දී පමණ ගෙන ඇත.

ඇෆ්ගනිස්තානය, ලොව දිලිඳුම රටවල් අතරින් එකකි. රට දිලිඳු වීමට, ඉහත කී යුද්ධයට අමතරව, තරමක් හෝ ශක්තිමත් පාලනයක් ස්තාපිත කිරීමෙන් පසුද, අමතර කරුණු කිහිපයක් බලපායි. ඉන් ප්‍රධානම කරුණක් වන්නේ ඇෆ්ගනිස්තානය ගොඩබිමෙන් වටවූ රටක් සහ විශාල අසල්වාසීන් ප්‍රමාණයක් සිටීමයි. ඇෆ්ගනිස්තානය නැගෙනහිරින් සහ දකුණින් පාකිස්තානයටත්, බටහිරින් ඉරානයටත්, උතුරින් තුර්මෙනිස්තානයට, උස්බෙකිස්තානය සහ සහ තජිකිස්තානයටත්, ඊසානින් චීනයටත් මායිම්ව පවතී. මෙම දේශ සීමා මුර කිරීම (Border control)  යුදමය තත්වයත්, භූගෝලීය සහ දේශගුණික අභියෝගත්, ක්‍රය ශක්තිය අවම වීමත් නිසා අති අසීරුය. එම නිසා ඇෆ්ගනිස්තානයට එන යන දේවල් පාලනය කල නොහැක. හෙරොයින් ආදී තහනම් ද්‍රව්‍යයේ සිට, ඇෆ්ගනිස්තානයේ මැනික්, තඹ ආදී සම්පත්ද අති බහුතරය පිට වන්නේ හොර රහසේය. එසේම, වාහන ඇතුළු වටිනා පාරිභෝගික ද්‍රව්‍ය රට ඇතුලට බොහෝ විට එන්නේද හොර පාරේය. රේගු කටයුතු බොහෝ විට දේශ සීමා මුරපොලවල්හි පමණක් සිදු වන අතර, ඒවාද දූෂණයෙන් පිරී ඇත. එබැවින්, හොර රහසේ බඩු භාන්ඩ ගෙන ඒමට බොහෝ අය පෙලඹෙති. මෙම කරුණු නිසා, රටේ සංකීර්ණ බදු පද්ධතියක් නොමැත.


කාබුල් දරුල්මාන් දුම්රිය සේවය, 1940 දී වසා දමා ඇත

අසල්වැසියන්ද එතරම් හොඳ අය නොවේ. විශේෂයෙන්ම පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු අඩාල කරන්නට සැදී පැහැදී සිටී. ඇෆ්ගනිස්තානයෙන් ආරම්භවන ගංගා, මුහුදට වැටෙන්නේ බොහෝ විට පාකිස්තානය හරහාය. මෙම ගංගා හරහා අළුතෙන් වේල්ලක් බැඳීමට හෝ පාකිස්තානය ඇෆ්ගනිස්තානයට ඉඩ කඩක් ලබා නොදේ. අනෙක් අසල්වැසියන්ද තම තමන්ගේම ප්‍රශ්න වල ඇලී ගැලී සිටින නිසා, ඔවුන්ට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දැනෙන යමක් කරන්නට ඉඩ හසරක් නොමැත.


කාබුල් ට්‍රොලි බස්

යුද්ධයෙන් බිඳ වැටුනු යටිතල පහසුකම් ගනන විශාලය. ඇෆ්ගනිස්තානයේ හරි හමන් මාර්ග පද්ධතියක් නොමැත. මේ නිසා පලාත් අතර ගමනාගමනය අති දුෂ්කරය. 2001 න් පසු, අන්තර පලාත් බස් සේවා ක්‍රියාත්මක වුවත්, මාර්ග දුෂ්කර තාවය නිසා මේවා ක්‍රියාත්මක වන්නේ යලට මහටය. එක කලෙක යුරෝපීය බස්,ට්‍රෑම් සහ මෝටර් රත දිවූ මාර්ග වල, අපිරිසුදු අබලන් ටැක්සි සහ කෙටි ගමන් සේවා වෑන් රත දාවනය වේ. ගුවන් මගින් ගමනාගමනය පමණක් සාර්තකව කල හැකි වුවත්, එය අධික වියදම් සහිතය. සාමාන්‍ය ඇෆ්ගනිස්තාන් වැසියෙකුට කිසිසේත්ම දරාගත නොහැකිය. මේ සඳහා විදේශාධාර ලැබෙතත්, බොහෝ විට ව්‍යාපෘති අධීක්ෂණය කිරීම රජයට පවරාගැනීම නිසා, එම ආධාර ඉහල ඇත්තන්ගේ විදෙස් ගිණුම් වලට වැටේ. එම නිසා, විදේශ ආධාර සපයන්නන්ගේ ඇෆ්ගනිස්තානය කෙරෙහි ඇති විශ්වාසනීයත්වයද බිඳ වැටී ඇත. බොහෝ විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා හෝ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හරහා ව්‍යාපෘති අධීක්ෂණය සාර්තක වුවත්, ඔවුන්ගේ මැදිහත් වීම රටේ හැම පලාතකම සිදු වන්නේ නැත. ඇරත් හොරා කෑමට කට ඇරගෙන සිටින්නෝ මුදල් රාජ්‍ය නොවන සංවිධාන වලට යොමු වීමට ඉතා දැඩිසේ හරස් කපති.


1992 -1996 සිවිල් යුද්ධයෙන් වැනසුන ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානය, වාර්ෂිකව මෙගාවොට් 500 ක පමණ විදුලියක් උත්පාදනය කරන්නේ, ජල විදුලිය, පොසිල ඉන්ධන දහනය සහ සූර්ය බල ශක්තිය යන තෙයාකාරයෙනි. ඊට අමතරව මෙගාවොට් 670 ක පමණ විදුලියක් අසල්වැසි ඉරානයෙන්, තජිකිස්තානයෙන්, තුර්මෙනිස්තානයෙන් සහ උස්බෙකිස්තානයෙන් මිලදී ගනී. මේ සඳහා වාර්ෂිකව වැය වන මුදල ඩොලර් මිලියන 280 කි. කෙසේ වුවත්, මේ බල උත්පාදනය සහ ආනයනය රට පුරා පැය 24ක් විදුලිය ලබා දීමට ප්‍රමානවත් නොවේ. බොහෝ නගර රාත්‍රියට අඳුරේ ගිලී පවතී. රට පුරා පැය 24 ම විදුලිය සැපයීමට, දැවැන්ත විදුලි ආනයන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවත්, එයද පලාත් බද කඹ ඇදිල්ල නිසා ඉබිගමනක යෙදී සිටී.


අපිරිසිදු වීදියක විකිණීම සඳහා සිමෙන්ති කවර ගෙන යන තරුණ ලමුන්

රටේ මධ්‍යගත රජයත් තිබුනත්, ඔවුන්ට රටේම පාලනය හිමි නැත. තලේබාන්, අයි එස් අයි එස්, හකානි, දායිෂ් වැනි ත්‍රස්ත සංවිධානද, ඇතැම් ගෝත්‍රික කොටස්ද, අවිගත් කණ්ඩායම්ද රටේ නොයෙකුත් පෙදෙස් අත්පත් කරගෙන සිටී. ඔවුන් හා අනවරත යුද්ධයක යෙදීමට විශාල දනස්කන්ධයක් වාර්ෂිකව වියදම් වේ. එම පාලන පෙදෙස් වල සංවර්ධන කටයුතු ඉතාමත් අසීරුය. මම පුද්ගලිකව අත් දැක ඇති දෙයකි.

නිල හා නොනිල කප්පම් ගැනීම, ඇෆ්ගනිස්තානයේ සරුවට සිදුවේ. ව්‍යාපෘතියකදී ඇමති, නියෝජ්‍ය ඇමති, අදීක්ෂණ ඇමති ආදී ඇමති ගණයා කොටසක් සූරා කති. අමාත්‍යාංග ලේකම් ගේ සිට ලිපිකරු දක්වාම කොටසක් සූරා කති. ඉඳිකිරීමක් නම් ප්‍රාදේශීය නිලදාරිවරු සූරා කති. ව්‍යාපෘතිය සිදු වන්නේ කැරලිකරුවන්ගේ පාලන පෙදෙසකනම්, ඔවුන්ට සන්තෝසම් දිය යුතුය. ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරිහු, තමන්ගේ කියා කුඩා හමුදා ගොඩනඟා ගෙන කප්පම් ගනිති. මම පවසන්නේ සියල්ලෝම දූෂිත යයි කියා නොවේ. නියම වශයෙන් සේවයට කැපවූ නිලධාරීන්ද අතලොස්සක් සිටින අතර, ඔවුන් ඉතා ගරු කටයුතු , දේශප්‍රේමී පුද්ගලයින්ය. එක් වරක්, සන්තෝසම් ගෙන අසුවූ දයිකුන්ඩි අධ්‍යාපන අද්‍යක්ෂ වරයෙක්, වසර විසි පහකට සිපිරි ගෙයට නියම විය. ඔහු ගසා කෑ මුළු මුදල ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසකි. ලංකාවේ මුදලින් නම් කෝටි පහකි! ඒ අසුවුන තරම පමණි.


යුද්ධයෙන් අබලන් වූ ගොඩනැගිලි

සාදාරණ ලෙස සේවය කර, ඉහල වැටුප් ලබන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන් රැසක් හඳුනා ගැනීමට මා භාග්‍යවන්ත විය. ඔවුන් ඇතමෙක් තවමත් මා සමඟ හිතවත්ය. ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ඔබට ලබා ගත හැකි සියලුම ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ සේවා කාබුල්හිදීද ලබා ගත හැකිය. වෘත්තිකයන්ද දැනුම අතින් ඉතා පොහොසත්ය. අප, කාබුල්හි ගෘහනිර්මාණ උපදේශක සමාගමක සේවය ලබාගෙන, නිලධාරි නිවෙස්න 12 කින් යුතු, අගනා මහල් නිවසක් ඉඳි කලෙමු. ඔවුන්ගේ සේවය ඉතා ඉහල මට්ටමක පැවතුනි.

කාබුල් විශ්ව විද්‍යාලය, ආසියාවේ පැවති උසස්ම තත්වයේ විශ්ව විද්‍යාලයකි. 1978 ට පෙර, එහි සේවය කල මහාචාර්ය වරු සහ වියතුන් අතර ශ්‍රී ලාංකිකයන්ද බහුලව සිට ඇත. අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන්ද බහුලව කාබුල් වෙත ඇදී ආහ. කාබුල් විශ්ව විද්‍යාලය අදටත් පවතිතත්, එය බෙහෙවින්ම පිරිහී ගොසිනි. ඇතැම් අධ්‍යාපන ආයතන වලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූයේ වරක් දෙවරක්ද නොවේ. කාබුල්හි සහ ඇතැම්විට අනෙක් පලාත් වලද, බොහෝ අධ්‍යාපන ආයතන ඇතත්, සියල්ලම ඇත්තේ පිරිහුණු තත්වයකය. හේරත්, නන්ගහාර්, කුරුසාන් ආදී පෙදෙස් වලද මෙම විශ්ව විද්‍යාල ව්‍යාප්තව පවතී.


වීදියක දසුනක්

අද්‍යාපනයට මෑත කාලීන විශාලම බලපෑම එල්ල වූයේ තලේබාන් පාලන සමයේ කාන්තා අද්‍යාපනය මුලුමනින්ම තහනම් කිරීම නිසාය. ඇෆ්ගනිස්තානයේ දැරියන් ඉගෙනීමට ඉතා දක්ෂය. කෙතරම් බාදක තිබුනත්, ඉහෙලටම ඉගෙන ගත් කාන්තාවන් ඇෆ්ගනිස්තානයේ දුලබ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සේවක ප්‍රතිශතයෙන් 30% ක පමණ කාන්තාවන් පිරිසක් සේවය කරති. තවමත් ඇතැම් පෙදෙස් වල කාන්තාවන්ට ඉගෙනීමට ඉඩ හසරක් නොමැත. ගෝර් පලාතේ අප විසින් ඉඳි කල ඇතැම් පාසල් පිරිමි ලමුන් සඳහා පමණක් වෙන්කරන ලෙස තලේබාන් වරු අපට බලකර සිටියහ. පාසල් ගොඩනැඟිල්ල විනාශ කිරීමෙන් බේරා ගැනීමට අකමැත්තෙන් උවත් ඊට එකඟ වීමට අපට සිදු විය. කෙදිනක හෝ, එම පෙදෙස්වල දැරියන්ටත් ඉගෙනීමේ ඉඩ හසර සැලසේයැයි මම උදක්ම ප්‍රාර්තනා කරමි.

ඇෆ්ගනිස්තානයේ මුදල් ඒකකය ඇෆ්ගානිය. එනමුත්, 2001 වසරේ ඇමරිකානු මැදිහත් වීම සමඟ, ඇමරිකානු ඩොලර්ද ඇෆ්ගනිස්තානයේ මුදල් ඒකකයක් ලෙස භාවිතා වේ. ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය හා පුද්ගලික බැංකු, මේ මුදල් ඒකක දෙවර්ගයම සඳහා ගිණුම් පවත්වාගෙන යයි. ඇෆ්ගනිස්තාන බැංකු, කිහිපයක් හැර අනෙක්වා එතරම්ම විශ්වාසනීය නැත. ඒවායේ මුදල් තැන්පත් කල අයගෙන් කප්පම් ඉල්ලීම බහුලව සිදු වී ඇති බව තතු දන්නෝ පවසති.


මඟ දෙපස වෙළද සැල්

කප්පම් ගැනීම, අවිගත් කණ්ඩායම් විසින් නිරන්තරයෙන් සිදු කරගෙන යනු ලබයි. ඔවුන්ට කප්පම් දීම හෝ මරණය යන දෙකෙන් එකක් තෝරා ගත යුතුය. ඇතැම් ධනවතුන්, පුද්ගලික ආරක්ෂකයන් පවත්වාගෙන යති. බොහෝ අයගේ ගිණුම් ඇත්තේ විදේශ වලය. ඩුබායි, තුර්කිය ආදිය රටවල මෙලෙස ගිණුම් පවත්වාගෙන යෑම සිදුවේ. ඇෆ්ගනිස්තානය තුල විශාල වැටුපක් සහිත රැකියාවක් සිදු කිරීම යනු මරණයට අත වැනීමක් වැන්න. මේ තර්ජනයට බහුලවම ගොදුරු වන පිරිසක් ලෙස එක්සත් ජාතීන්ගේ සේවක මඬුල්ල හඳුන්වා දිය හැකිය. ඔවුන් ජංගම දුරකතන තොරතුරු මකමින්, සරල ජීවිත ගතකරමින් රැකියා තත්ත්වය වසන් කරගනිමින් ජීවත් වෙති.

ඇෆ්ගනිස්තානය මේ තාක් දුරට බිඳ වැටීමට, විවිධාකාරයෙන් බෙදී වෙන්වී සිටින ජනතාවද හේතුවක් බව, මම අතිශය පුද්ගලිකව කල්පනා කරමි. ඔවුන් මූලික වශයෙන් ජන වර්ග ලෙස බෙදී ඇත. තමන්ගේ වරිගයෙන් පිට එකෙකුට හරියනවාට බහුතරයකගේ කිසිම කැමැත්තක් නැත. පලාත් වශයෙන් බෙදී ඇත. ආගමික වශයෙන් ඇෆ්ගනිස්තානය ඉස්ලාම් රටක් උවද, සුන්නි ශියා නිකායික භේදය පැහැදිලිව දිස්වේ. ඊට අමතරව, දේශපාලනික වශයෙන්ද බෙදී සිටිති. ඇතැම් විට ත්‍රස්තවාදී අවිගත් කන්ඩායම්ද වශයෙන් බෙදී ඇත. මිත්‍ර සාකච්ඡාවකදී උවත්, මේ කරුණු ඉස්මතු වනවාට ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

දරිද්‍රතාවයේ ගිලී ඇති දුශ්කර කඳුකර පලාත් වල, ඉපදීමම පවකි. මෙසේ සටහන් කිරීමට සිදුවීම ගැන, පාඨක ඔබ මට සමාව දෙනු ඇතැයිද මම සිතමි. ඔවුන්ට මූලික අවශ්‍යතා හෝ නොමැත. ඇතැම් විට දිය ඇත්තේ සැතපුම් ගනනක් දුර කඳු පාමුලය. ඒද බීමට පමණි. කෑමට මසක් ලැබෙනුයේ කලාතුරකිනි. මන්ද පෝශණය, මෙවන් කඳුකර පෙදෙස් වල නිවැසියෙකු මෙන් ස්තිරව ලැඟුම් ගෙන සිටී. ඔවුන්ගේ ආහාර වන්නේ පාන් සහ සරල හොදි වර්ගයක් පමණි. වැසිකිලි පහසුකම් ඇත්තේ නැත. මාතෲ හා ලදරු මරණ ප්‍රතිශතය ඉතා ඉහලය. එන්නත්කරණ වැඩසටහන්, නූගත් කමත්, ආගමික විශ්වාසත් නිසා ඉතා දුර්වලය. ඇෆ්ගනිස්තානය යනු තවමත් පෝලියෝ රෝගය පවතින අවසන් රටවල් දෙකෙන් එකකි (අනෙක් රට අසල්වැසි පාකිස්තානයයි).  සීත කාලයට දහනයට මුඩු බිම් වල දර හෝ නොමැත. ඒ සඳහා යොදා ගන්නේ වියලි ගොමයි. ඇතැම්හු, ගංගා අසල ඇති මැටි හා මඩ ගෙන තණකොල හා මුසු කොට සීත සෘතුව පුරා සිරුරේ තවරාගෙන සිටිති.

කාන්තාවන්ගේ තත්ත්වය ඉතාමත් ශෝචනීයය. ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ වාසනාව ලැබෙන්නේ අල්ප වූ පිරිසකට පමණි. අඩු වයසෙන් විවා පත් වන බහුතරය, ගෙයි මුල්ලේම කාලය ගත කරති. ඇතැම්හු ධනවතුන්ට විකුණා දැමෙති. කැලේ පිපෙන සුන්දර කුසුම්, පොහොට්ටුව සමයේම පොඩි වී මැලවී සැඟවී යති.

1996-2001 දක්වා තලේබාන් පාලන සමය තුල අධ්‍යාපනයේ බිඳ වැටීම, උගත් සමාජය තුල කැපී පෙනේ. එම කාල වකවානුව තුල උසස් අද්‍යාපනය ලැබූවන්, මගේ අත්දකීම් වල ආකරයට, ඉතා අල්ප වූ පිරිසකි. බහුතරය 1990 දශකයට පෙර උසස් අද්‍යාපනය ලැබූ අය හෝ 2002 ට පමණ පසු උසස් අද්‍යාපනය ලැබූ අයයි. 1990ට පෙර උසස් අද්‍යාපනය ලැබූ අය තලතුනා වයසට ආසන්නව, රට කෙරෙහි ඇති බලාපොරොත්තු බිඳ වැටී කල් ගෙවති. ඔවුන්, 1978 ට පෙර සමය පිළිඹදව මහත් අභිරුචියෙන් යුක්තව කතා කරති. ඔවුන් තම දරු මුනුබුරන් ඇෆ්ගනිස්තානයෙන් පිට ලොවක එලිය දකිනවාට කැමති වෙති. සෝවියට් සහ ඇමරිකානු මැදිහත් වීම් වලින් 'සාපේක්ෂව' හොඳ මැදිහත් වීමක් කලේ සොවියට් වරුන් බව, බොහෝ ඇෆ්ගානුවන්ගේ මතයයි. එසේ වුවත්, බොහෝ ඇෆ්ගානුවන්ගේ සිහින පාරාදීසය ඇමරිකාවයි. නීත්‍යානුකූල වීසා මඟින් සහ නීත්‍යානුකූල නොවන සරණාගත උපක්‍රම මඟින් හෝ එහි යෑමට බොහෝ අය යත්න දරති, ඇතමෙක් සාර්තකද වෙති. ඊට අමතරව එංගලන්තය, ප්‍රංශය හෝ ඕනෑම රටකට යෑමටද ඔවුන් කැමතිය. මැද පෙරදිට යෑමට එතරම් කැමැත්තක් නැත. ඔබ නොදන්නවා වූවාට, සැලකිය යුතු ඇෆ්ගනිස්තාන සරණාගතයන් පිරිසක් ලංකාවේද, පිරිසක් ඉන්දියාවේ හා පාකිස්තානයේද වෙසෙති.

2002 ට පසු උසස් අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් වරුන්, 1978 ට පෙර යුගය ගැන අත්දැකීමෙන් දන්නේ නැත. එමනිසා, ඔවුන්ගේ ඒකායන අරමුණ,රටින් පිටවීමය. මේ සඳහා දන්නා කල සිටන්ම ඔවුන් පිඹුරුපත් සකසති. කුඩා පුහුණුවකින් උවද, සහතික පත්‍රයක් නැතුව පිටව යන්නේ නැත. මේ බුද්ධි ගලනයත්, රටේ පවතින අධික දරිද්‍රතාවයත්, දූෂණයත් නිසා ඇෆ්ගනිස්තානයට දියුණුවේ අරුණළු කවදා උදාවේදැයි අතිශයින්ම සැක සහිතය.

රාජ්‍ය සේවයට එක් වීමට, කිසිවෙකුගේ හෝ හැඳුණුම් කමක්, පගාවක් , අල්ලසක් අත්‍යාවශ්‍යය. ඇතැම් විට ජන වර්ගයද බලපායි. මේ නිසා, උගත්කමින් ඉහල වුවත්, විරැකියාවෙන් පෙලෙන ජනතාවක් ඇෆ්ගනිස්තානයේ වෙසෙති. සාමාන්‍ය සිවිල් සේවකයෙකුගේ උපරිම වැටුප ඩොලර් 200 ක් පමණ වන අතර,  ඇෆ්ගනිස්තානය වන් ජීවන වියදම ඉහල රටක, එය ප්‍රමානවත් වන්නේ යන්තම් නොමැරී ජීවත් වන්නටය. එතනින්ම දූෂණය ඇරඹේ.

උගතුන්ගේ තත්ත්වය මෙසේ උවත්, නූගතුන්ගේ තත්ත්වය ඊටත් වඩා අතිශය ඛේදජනකය. දිලින්දන්, දිලිඳුකමේ අන්තිමටම ගිලී ඇත. ශ්‍රම මූලික රැකියා කරමින්, අපිරිසිදු නගර වීදි වල දුකසේ කල් ගෙවති. ඇෆ්ගනිස්තානය තුල ලමා ශ්‍රමිකයන් බහුලය. එසේම විශාල පිරිසක් සිඟමන් යදිමින් ජීවත් වෙති. තදබදය නිසා පාරේ සිරවී ඇති වාහන පේලි අතරින් එබෙමින් කුඩා දේවල් විකිනීමට උත්සාහ දරති. ජන ජීවිතයේ පැතිකඩක් නැරඹීමට, මහ පාරේ වාහනයකින් යාමම ප්‍රමාණවත්ය.

මේ ලිපිය, පිටු ගනනාවක් පුරා ලිවිය හැකි උවත්, මෙතැනින් නවතිමි. ආදරණීය ඇෆ්ගනිස්තාන් ජනතාව, මේ දීර්ඝ කාලීන වේදනාත්මක සිහිනයෙන් හැකි ඉක්මනින් අවදි වේවායි!, මම දිනපතා පතමි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ