මුදලාලි, බුදුවෙන්ඩ!

 තිලකෙ මුදලාලි දේවතා මණ්ඩලය අසළින් පහන තියා දොහොත් මුදුන් දී, බිම බලාගෙන පහත් හඬින් මුණු මුණු ගෑවේය. ඉන් අනතුරුව පහනෙන් තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩට ගෙන, තට්ටය පෑදුනු හිස් මුදුනේ ගා ඉතිරිය පස්සා පැත්තේ පිසදා ගත්තේය. දේවතා මණ්ඩලයේ බැබලෙන ලාෆින් බුදු රුවක්, සායි බාබාගේ පින්තූරයක්, සෙස්ස පස්සට තල්ලු කර ඉදිරියෙන් එක දාගෙන වැඩ සිටියෝය. වැඳ අවසන් කර, සුදු අත්කොට ශර්ටය පටලවාගත් මුදලාලි, නිවසේ සුවිසල් සාලයට පිළිපන්නේය.

හොරණ නගරයේ මුද්රණාලයක් සහ වෙනත් ව්යාපාර ගණනාවකට හිමිකම් කියූ ඔහු, අවුරුදු නිවාඩුවට ඒවා වසා දැමීමට සිදුවීම ගැන නොසතුටින් සිටියේය. මුදලාලිගේ වැඩිමහළු සහෝදරයා වන පළාතේ ප්රබල ඇමතිවරයා අවුරුදු සැමරීමට මුණ ගැසීමෙන් පසු සඳහන් කළ කාරණයක් සිහිපත් කළ තිලකේ මුදලාලි, බඩ අතගාමින් නිවසේ මිදුලට පිළිපන්නේය. අලුත් අවුරුද්දට යහමින් තෙල් කෑම ගිල දැමීම නිසා තිලකේ මුදලාලිගේ බඩ වෙනදාටත් වඩා ඉදිරියට නෙරා ඇත.
හොරණ - ඉංගිරිය පාරේ වෙල් යායකට මායිම්ව පිහිටි තිලකෙ මුදලාලිගේ නිවස සුවිසල්ය. කුඹුරු යායකින් කොටසක්ම අනවසරයෙන්ම ගොඩ කර තැනූ මිදුලේ, ඊයේ රාත්රියේද අවුරුදු සාදයක් පැවැත්වුණි. පහසුකම් සපයන්නෝ, මේස, පුටු, කූඩාරම් ආදිය හකුළුවාගෙන ගිය පසු, මිදුල පුරා විසිරී පැවති ඉඳුල් තැවරුනු ටිෂූ කොළ, කටගැස්ම දැමූ කාඩ්බෝඩ් දීසි, සිගරට් කොට ආදිය නිවසේ එක් සේවකයෙකු වූ සිරිදාස ඉදලකින් කුණු බාල්දියකට එකතු කරමින් සිටියේ අපුල බවක් මුහුණෙන්ද පෙන්වමිනි. මුදලාලිගේ බිරිඳ හා දියණියන් දෙදෙනා සාදයෙන් පසු තවමත් සුව නින්දේය.
''මොනවද මනුස්සයො කරන්නෙ? බලනවකො වෙලාව එකොළහටත් කිට්ටු වෙන්ඩ ඇවිත්'"
සිරිදාස, මුදලාලි දෙසට හිස නවා වැඩය කරගෙන ගියේය.
මුදලාලි, ඇස් පුංචි කරමින් ජංගම දුරකථනයේ අංක කීපයක් එබුවේ මතකයෙනි.
''ගුඩ් මෝනිං නිල්මිණි මුදලාලි! මේ තිලකෙ!''
''ආහ්.. ෆෝන් එකේ නම්බරේ තියෙනවනෙ. කොහොමද, දැන්ද ඇහැරුණේ? ඊයෙ ඉතින් හරියට කතා කරන්නවත් බැරි උනානෙ..''
''ආ ඒවට මම එන්නම් වෙලාවක් බලල. ඒවා මෙතන කතා බහ කරන්න බෑනෙ.''
''ඒක නෙමෙයි මම මේ කතා කළේ, දැන් ඊගාව වෙසක් පෝයට මගෙ දන්සැල, උදව්වක් ඕනි.''
''නෑ නෑ මහ දෙයක් නොවේ. කෙසෙල් ගෙඩි දාහක් වගෙ තිබුනනම් ලොකු දෙයක්.''
''ඕක මහ දෙයක් නෙවෙයිනෙ මුදලාලි. මම ලියන මහත්තය එවන්නම් ආධාර පත්තරේ අත්සමක් දාල දෙන්න.''
''හරි හරි අපි තිබ්බ එහෙමනම්. ජය වේවා කිව්ව!''
නිල්මිණි මුදලාලිගේ සැබෑ නම් හියුබට් ප්රනාන්දුය. හොරණ නිල්මිණි හෝටලයේත්, නිල්මිණි ගෙස්ට් හවුසියේත් හිමිකරුවා ඔහුය. ඊට අමතරව බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරියේ ශාඛා ඇති සම්බාහන මධ්යස්ථාන ජාලයක්ද ඔහු සතුය. එයට 'නිල්මිණි' නම තබා නැත. සම්බාහන ආයතන තුළ, සම්බාහනයට එහා දේවල් ද සිදුවේ. තිලකේ මුදලාලිගේ දේශපාලන හිතවත් භාවයන් යොදාගෙන, ඒ ස්ථාන වලට පොලිස් ඇස ගැටීම වළක්වා ඇත. ඊට හිලව්වට තිලකෙ මුදලාලිටත්, ගරු ඇමතිතුමාටත් ඇති පදම් 'සනීප සැප' ලැබේ.
මසකට පෙර, ඇමැතිතුමාට 'සැලකීමේදී' සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් නිල්මිණි මුදලාලිගේ බණ්ඩාරගම සම්බාහන මධ්යස්ථානයට පොලිසිය පැන්නේය.
'සුප්රසිද්ධ ව්යාපාරිකයා සම්බාහන මධ්යස්ථානයක් ලෙස පෙන්වමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය පොලිසිය වටලයි' යනුවෙන් තඩි පොල්ගෙඩි අකුරෙන් සිරස්තලයක්ද දිනපතා පත්රයක පළ විය.
අමතර 'ගතමනාවක්' මුදල්ද සමඟ දීමෙන් පසු, ඒ ආරෝව සමනය වූ බව තිලකෙ මුදලාලි සිහිකළේ උපහාසයෙනි.
''ඒවනං එහෙම තමා, මොකෝ මං ඕවා පිනට කරල දීල බුදුවෙන්ඩයැ?"
මුදලාලිගේ දෙවන ඇමතුම පළාතේ තැබෑරුම් කිහිපයකම අයිතිය ඇති ජයතුංග නැමැත්තෙකුටය. ජයතුංග මහතාත්, තිලකෙ මුදලාලිත් අතර වැඩිමනත් 'ඇයි හොඳැයියක්' නැත. පෙරදින පැවති අවුරුදු සාදයට ද ඔහුට ආරාධනා නොවීය. තැබෑරුමේ පවත්වාගෙන යන නීත්යනුකූල සුරා වෙළෙඳාමට පිටින් සිදු වූ මත් පෙති වෙළෙඳාමට 'ඇස් කණ් පියාගෙන සිටීමට' ඇමැතිවරයාට අල්ලස සම්බන්ධීකරණය වූයේ තිලකෙ මුදලාලි හරහාය.
''ජයතුංග මහත්තය, තිලකෙ මුදලාලි''
''මොකක් කීව? ඇයි එහෙම කියන්නෙ?''
''ආ නෑ නෑ ජයතුංග මහත්තය එහෙම එකක් නෙමේ. ඒ ෆැමිලි පාටි එකක්. අපට ඉතිං කවදා සෙට් වෙන්න බැරිද? ඕකට පාටියක් කියලම ඕනියැ?''
''ඒකනෙ.. මම මේ කතා කළේ වැදගත් කාරණාවකට. මේ සැරෙත් වෙසක් දන්සල කරනව. උදව්වක් ඕනි''
''ඔව් පැණි බීම බෝතල් නම් හොඳයි. කොහොමත් බීම වෙළඳාමනෙ කරන්නෙ. හෙහ් හෙහ්''
''ආ...නේ බෝතල් ක්රේට් පහක් මොනව කරන්නද? විස්සක් වත් ඕනි අඩුම වශයෙන්. අපිත් ඇල් වතුර දාලනෙ ඕක පිරිමහගන්නෙ. බේරගන්න බෑනෙ. අලියො හොඬේ වතුරට දැම්ම වගේනෙ නිකන් දෙන බීම බීගෙන බීගෙන යන්නෙ.''
''ඕක ඉතින් අදි මදි කරන්න එපා ජයතුංග මහත්තය. අපිත් ඉතින් උදව් පදව් කරනවනෙ නේද? මම ලියන මහත්තය එවන්නම් ආධාර පත්තරේට පොඩී අත්සනක් දාන්නකො. හරි මම එහෙනම් තිබ්බ, ජයවේවා කිව්ව එහෙනම්''
'ලෝබ කුණා...' තිලකෙ මුදලාලි තමන්ටම කොඳුරා ගත්තේය. පීන පීන ඉන්න තරම් සල්ලි. දන්සලකට කතා කළාම 'චක් චුක්' ගානව. ඌත් දන්නව උගෙ සල්ලි ගැන මාත් දන්නව මගේ සල්ලි ගැන. එක අතකට මෙහෙම හම්බ කරන සල්ලි වලින් දන් දීල ඌ බුදු වෙන්ඩද, මම බුදු වෙන්ඩද?''
තිලකෙ මුදලාලි අංක රාශියක්ම අමතමින් තමන්ගේ වෙළෙඳ සගයන්ගෙන් බොහෝ දේ දන්සල සඳහා පොරොන්දු කරවා ගත්තේය. වෙළෙඳාමේදී මිතුරන්ට වඩා පසමිතුරන් වැඩි වුවත්, කිසිවෙකුට තිලකෙ මුදලාලි පිළිකෙව් කළ නොහැක්කේ දේශපාලන සබඳතා සහ මුදල් බලය නිසාය. ඇමතුම් ලද සියල්ලෝ කන් කෙඳිරි ගාමින් හෝ ඉල්ලූ දෙය බාර ගත්හ.
මුදලාලි අවසන් දුරකථන ඇමතුම ලබාගත්තේ ඉඩම් කට්ටිකර විකුණන 'ලෑන්ඩ් සේල්' ආයතනයක හිමිකරුවෙකුටය. 'ප්රවුඩ් ලෑන්ඩ්ස්' නම් ආයතනයේ හිමිකරු වූ ඔහු 'ප්රවුඩ් මුදලාලි' ලෙස ප්රකටය. හොරණ - කළුතර පාරේ රබර් ඉඩම් රැසක් පර්චස් හයේ දහයේ කැබලිවලට කැඩී, නිවාස සෑදීමට ඉඩම් සොයන්නන්ට විකිණීමෙන් ඔහු සෑහෙන ලාභයක් ලැබුවේය. ඔහුගේ නියම නම, කිසිවෙකුත් දැන සිටියේ නැත. ඔප්පුවකට පවා අත්සන් කළේ වෙනත් අයය.
තිලකෙ මුදලාලිගේ ඇමතුමට වැඩි පෙරැත්තයක් නොමැතිවම බාස්මතී හාල් කිලෝ පනහක් ලබා දීමට ප්රවුඩ් මුදලාලි එකඟ විය. ඒ, ප්රවුඩ් ලෑන්ඩ්ස් ආයතනයේ බැනරයක් දන්සල අසළින්ම ප්රදර්ශනය කිරීමේ අමතර පොරොන්දුව පිටය.
''ඔය ප්රවුඩගෙ වැඩ මම නොදන්නවද? ඉඩම් කීයක් නම් හොර ඔප්පු හදල අල්ලගෙන ඇත්ද? තග්ලා දාල වයසක මිනිස්සුන්ගෙ ඉඩම් නම් කීයක් කොල්ල කෑවද? කුඹුරු ඉඩම් ම කීයක් ගොඩකරල ඇත්ද? ඕව කරල හොයන සල්ලි පිනට දීල ප්රවුඩ් කාරය බුදු වෙන්ඩද, ඒවයින් දන්සල් දීල මම බුදු වෙන්නද?"
කුඹුරු ඉඩම් ගොඩකිරීම සිහි වෙද්දීම, තමන්ගේ මිදුලෙන්ද බාගයක් පමණද ඇත්තේ එවන් ඉඩමක බව මුදලාලිට නොදැනුනා නොවේ.
මිදුල දෙස හිස ඔසවා බලද්දී, එහි කුණු රොඩු එකතු කිරීම අවසන් කළ සිරිදාස, එතැනින් ඉවත්ව ගොස් ඇති බව මුදලාලිට පෙනුණි. කසළ ගොඩක්ව පැවති මිදුල පිරිසිදු වූ පසු, අව් රශ්මියේ වුවද, එහි රවුමක් ඇවිද යාමට තිලකෙ මුදලාලිට සිත් විය. කල්පනාවේ නිමග්නව ගේට්ටුව දෙසට ඇවිද ගිය ඔහුට, එහි ගැවසෙන යාචකයෙකු දක්නට ලැබුණි.
''පින් කරන මහත්තයෝ.. මේ අවුරුද දවස් ටිකේම හරි හමන් කෑමක් නෑ. රුපියල් පනහක් වත් ලැබුනොත් පාං බාගයක් අරන් කහටේකක හරි පොඟවල කන්න පුළුවනි''
''කොහේ තියෙන රුපියල් පනහක්ද? යනව යන්න මෙතනින්'' මුදලාලි යාචකයාට කඩා පැන්නේය'
''සිරිදාස.. සිරිදාස... මෙන්න මේ මනුස්සයව එලවල දානව''
මුදලාලිගේ ගෝරනාඩුවට තැති ගත් යාචකයා ඉක්මන් ගමනින් ආපසු පියවර මැන්නේය.
පියෙවි සිහියෙන් සිටි මුදලාලිට, විනාඩි ගණනකට පෙරාතුව සංවිධානය කරමින් සිටි දන්සල සිහිවී, ඒ පින්බර ලොවට තාවකාලිකව පිවිසියේය.
''ඔහොම පොඩ්ඩක් ඉන්ඩ''
ගේට්ටුව හැරගත් මුදලාලි, පාරේ ඉහළ යමින් සිටි මිනිසා දෙසට අත් පුඩි ගසමින්, ඒ දෙසට අඩිය ඉක්මන් කරමින් ගමන් ගත්තේය. යාචකයා තැති ගෙන, මුදලාලි දෙස බලා සිටියේය. පටළවාගෙන සිටි කමිසයේ උඩ සාක්කුවෙන් ලියුම් කවරයක් අතට ගත් මුදලාලි, එයින් රුපියල් දහසක් ඇද, යාචකයා අත තැබීය.
තම දෑස අදහා ගත නොහැකි වූ ඔහු, නෝට්ටුව දෙස බලා සිටියේ තුෂ්ණිම්භූතව ය.
අවසානයේ කෙළ තලියක් ගිල උගුර පාදාගත් යාචකයා, තම සිතේ ඇතිවූ හැඟීම පිටතට මුදා හළේය.
"මේ මහත්තය බුදු වෙන්න ඕනි!"

2021.05.03

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!