පුල්මුඩේ ගමන

2003-2005 දක්වා කාලයේ මා සේවය කල පුද්ගලික ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සේවා (Consultancy) සඳහා වන කොන්තරාත්තුව ලබාගෙන සිටියහ. ඒ යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රීඩා පිටි හා ක්‍රීඩාංගණ නවීකරණය කිරීම සඳහා සැලසුම් සකස් කර දීම සිදු විය. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ සඳහා අනුයුක්ත කර සිටියේ ජයරත්න නම් ඉංජිනේරු මහතෙකි. විශ්‍රාම යාමට ආසන්න වයසක සිටියද එතුමා නිරෝගී, කරුණාවන්ත සහ ගුණගරුක අයෙකි. මගේ සේවා දිවියේ මුල්ම කාලයේ එතුමා හඳුනා ගැනීම තුලින්  ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ අගනා පාඩම් ඉගෙන ගැනීමට භාග්‍යය උදා වූ බව මම අදටත් සිහි කරමි.

අපගේ කාර්යාලයේ බොහෝ අය, මේ සඳහා මුලදී යොදවා සිටියහ. කෙසේ වුවත්, ක්ෂේත්‍ර චාරිකා (Field visits) යාමට බොහෝ දෙනා අදි මදි කල බැවින් ඒ සඳහා ඉදිරිපත් වීමට සිදු වූයේ මටය. ඒ අනුව, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ජයරත්න මහතාත් මමත් රියෙදුරෙකු සමඟ ඉසුසු ෆාගෝ වර්ගයේ වෑන් රියකින් සංචාරය කලෙමු.  දුඹුරු පැහැති, තැනින් තැන මලකඩ පිපී, අව පැහැ ගැන්වුන එම වෑන් රථය, වසර ගනනාවක් පුරාවටම, ඉඳහිට සිදුවන ටයර සිදුරුවීමකින් එහාට කරදරයක් දුන්නේ නැත. වෑන් රියේ ඉදිරිපස අසුන ජයරත්න මහතාට වෙන් විය. පිටුපස තනි දිගු අසුන මට වෙන් විය. එයට පිටුපසින් වූ ඉඩෙහි,  අමතර ටයරයක්, ලී කොට, ජැක් වැනි අඩුම කුඩුමද, අපගේ රෙදි බෑග්ද විය. වාහනයේ වායු සමීකරණ පහසුකම් අක්‍රීයය. ඒ නිසා ඇතුලතත්, පිටතත් දුහුවිලි තට්ටුවක් බැඳී ඇත. දිගු ගමනට පෙර, ඒවා ඉවත් කර පිරිසිදු කෙරෙතත්, ගමන අවසාන අවසන් වන විට නැවතත් දුහුවිලි තට්ටුවක් බැඳේ.

වසර තුනක කාලයක් ඇතුලත, අප දිවයිනේ 'සතර දික් භාගයේ' රවුම් ගැසුවද, ඒ අතරින් ගමන් දෙකක මතක සුවිශේෂී ලෙස මගේ මතකයේ අදටත් තැන්පත්ව පවතී. ඉන් එක ගමනක් යෙදී තිබුණේ පුල්මුඩේටය. අනෙක කිලිනොච්චියටය. ගමන් දෙකෙහිම නිශ්චිත වූ කාල වකවානු මගේ මතකයේ නැතත්, ඒ ගමන් දෙකම සිදුවූයේ 2003 - 2004 කාලයන්හිදී බවනම් මතකය. මේ, පුල්මුඩේ ගමන පිළිඹද මතකාවර්ජනයකි.

***

ඒ වන විටත් මා රැඳී සිටියේ කටුබැද්ද පලවෙනි පටු මඟේ සරසවි සමයේ නවාතැනෙහිය. සරසවි අධ්‍යාපන කටයුතු නිම වී තිබුනත් එතනින් යාමේ අවශ්‍යතාවයක් වූයේ නැත. රියදුරා සහ ජයරත්න මහතා පාන්දරින්ම නවාතැන අසලට එයි. උදෑසන හතරට-පහට පමණ පිටත් වීම අපේ සිරිතයි.

ඒ දිනවල, ගමන් මාර්ගය අනුව තේ බීමට හුරුවූ වෙනම ස්තාන විය. නුවර පාරේ අඹේපුස්ස එවන් ස්තානයකි. හතට පමණ උදෑසන තේ බොන අපි, මගදී කෑමට 'ජිනදාසගේ තල ගුලි' අලෙවිසැලින් විස්කිරිඤඤා සහ සීනි පිට්ටු ගන්නෙමු. ජයරත්න මහතා නොවැරදීම තලගුලි ගනී. ඒ මහතා තලගුලි කෑමේ රුසියෙකි.

අප, උදෑසන දහය පමණ වන විට ත්‍රිකුණාමලයට ලඟා වීමු. මග දිගටම හමුදාවෙන් මාර්ග බාධක යොදා තිබුනද, රජයේ වාහනයක යන රාජකාරි ගමනක් නිසා එතරම් බාදාවක් වූයේ නැත.

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා මාර්ග දෙකකි. එකක්, නිලාවැලි-ඉරක්කණ්ඩි-වල්ලිපුරම්-කුච්චුවේලි-තිරියාය හරහා ගමන් මාර්ගයයි. අනෙක, ගෝමරන්කඩවල-අඩම්පන්-තිරියාය හරහා පුල්මුඩේ මාර්ගයයි. පලමුව කී මාර්ගය ප්‍රසිද්ධ හා ප්‍රධාන මාර්ගය වන අතර, එකල පුල්මුඩේ සහ ත්‍රිකුණාමලය අතර මෙම මාර්ගය එල්.ටී.ටී.ඊ පාලනය යතතේ විය.සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, අවිගත් කණ්ඩායම් එහි සැරුසැරූහ. අපි හමුදා බැරැක්කයකින් මඟ ඇසුවෙමු.

"මහත්තයල කොහාට යන්නද?" මුරපොල බාර හමුදා නිලධාරියා ඇසුවේය.

"අපි මේ රාජකාරි වැඩකට පුල්මුඩේ යන්න කියල" උත්තර බැන්දේ ජයරත්න මහතාය.

"මහත්තයලට මේන් රෝඩ් එකේ යන්න අමාරු වෙයි. මැද හරියෙ කිසිම ආමි චෙක් පොයින්ට් එකක් නැහැ.ටෙරාල ඉන්නෙ. සීස් ෆයර් එක තිබ්බට වෙලාවකට වාහන එහෙම හයිජැක් කරනව.  ගෝමරන්කඩවල පැත්තෙන් යන්න" නිලධාරියා කීවේය.

"ගෝමරන්කඩවල පාරෙන් මේ වාහනේට යන්න පුළුවන් වෙයිද?" රියදුරා විමසිලිමත් වෙමින් ඇසුවේය.

"අපොයි ඔව්. අපෙ සප්ලයි යන්නෙත් ඒ පාරෙන් මඟ දිගටම කට්ටිය ඉන්නවා" නිලධාරියා තහවුරු කලේය.

ඔහුගේ උපදෙස් පිලිගෙන, අප ආපහු හැරී ගෝමරන්කඩවල මාර්ගයට පිවිසුණෙමු. පාර, ගෝමරන්කඩවල දක්වා භාවිතා කල හැකි මට්ටමේ පැවතියතින් ඉන් එපිටට, පාරක් කියා නාමයක් වත් තිබුණේ නැත. භාවිතා කල හැකි මට්ටම යනු වාහනයේ ටයර වලට, ඇක්සල් වලට, චැසියට හො බඳට ආපදාවක් නොමැතිව යන්තමින් පිරිමසාගත හැකි පාරක් මිස කාපට් ඇතිරූ පාරක් නොවේ.

අඩසියවසකට පමණ පෙර දැමූ තාර වල ශේෂමාත්‍ර, දූපත් මෙන් දුහුවිලි පිරි පොලවේ සැතපුමක් දුර කිහිපයක් බැගින් දක්නට විය. පාරට දැමූ ගල් හෝ ඇත්තේ එහෙමත් තැනකය.  වියලි කාලයක් බැවින් දුහුවිල්ල එරෙන සුළුය, ඉක්මනින් ඇවිස්සෙන සුළුය.  ගඳපාන, පතොක්, වරා ආදී පඳුරු පාර මැද්දටම නැවී ඇත. වාහනයක් ගමන් කල බවට වූ එකම සලකුණ, ට්‍රැක්ටරයක යැයි සිතිය හැකි ගැඹුරු රෝද සලකුණු පමණි.

"ටැට්ටරෙන් වෙන්ඩැති අරය කියපු සප්ලයි අදින්නෙ" රියදුරා කීවේ මදක් තරහිනි.

"ආපු එක දිගටම යමු. අපි අද එනව කියල එහේ පලාත් සභා මන්ත්‍රීට කෝල් කරල කීව මම. යන්නම බැරි උනොත් ආපහු එමු" ජයරත්න මහතා කීවේය.

ඒ අනුව අපි ලන්ද පාදාගෙන මෙන් හෙමි හෙමින් ඉදිරියට ඇදුනෙමු.

පැයක පමණ ගමනකින් පසු, මඟ යමින් සිටි හමුදා අනුකණ්ඩයක් අපව නැවැත්වූහ. පයින්ම යමින් සිටි ඔවුන්ට, අපේ රථයට ගොඩ වීමට උවමනා විය. එම පිරිසේ දහසය දෙනෙකු පමණ වූ අතර, ගිණි අවි සහ වෝකි ටෝකි සමඟ බෑග් මළු ආදියද ඔසවාගෙන සිටියහ. මම ඉදිරිපස අසුනට ගොඩවී ඔවුනට පිටුපස අසුන ලබා දුනෙමි. සිව් දෙනෙක් අසුනේද, දෙදෙනෙක් අසුන්ගත්තවුන්ගේ උකුලෙහිද වාඩි වූ පසු, ඉතිරි දස දෙනා පිටු පස දොර හැර, අඩුම කුඩුම එක මුල්ලකට තල්ලු කර ආසන නැති කොටසේ බිම වාඩි වූහ. වෑන් රියේ පිටු පස පහත් විය.

"සර් වාහනේ දුණු කැඩෙයිද මන්දා" රියදුරු තැන ජයරත්න මහතාගේ කණට කර 'කුටු කුටු' ගෑවේය.

"හිමීට යමු. බෑ කියන්න බෑනෙ" 'කුටු කුටුවකින්ම' පිලිතුරු නිකුත් විය.

අපි සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුනෙමු. පැයක් පමණ තවදුරටත් ගමන් කල පසු 'පොහ්' ගා පසුපස ටයරයක් පුපුරා ගියේය. අපි බිමට බැස බැලුවෙමු.  හමුදා නිලධාරීන් යුහුසුළුව අමතර ටයරය මාරු කර දුන්හ. එය තට්ට හිසක් මෙන් ලැල්ලටම ගෙවී ඇත. පුපුරා ගිය ටයරය,  පාරේ කළු ගලකට කැපී ලෙල්ලක්ම ගැලවී ඇති බැවින්, අළුත් වැඩියා කල හැකි යයි තමා නොසිතන බව රියදුරු තැනගේ අදහස විය.

"අපි ඉතුරු ටික පයින් යන්නම්, මහත්තයල යන්න. අනිත් ටයර් එකත් අපි නිසා 'පන්ච්' කරගන්න ඕනි නෑ. ඉස්සරහ ටෙරාල ඉන්න පුළුවනි. අවධානෙන් යන්න

කපිතාන්වරයා අපට සමු දෙමින් කීවේය. ඒවන විට අප සිටියේ අඩම්පන්ට නුදුරිනි. ගමන අඩක් පමණ ගෙවා ඇති නිසා ආපසු හැරීමෙන් පලක්ද නොමැත. අප නැවතත් ඉදිරියට ඇදුනෙමු. මඟ දිගට පාළුය. අතරින් පතර පොල් අතු පැල්පතක්, කඩයක් දක්නට ඇතත්, මිනිස් වාසය ඉතාම අල්පය. අයාලේ යන හරක් සහ එළු රංචු නිතර හමු විය. ඇතම් හරකෙකුගේ කකුල කැඩී එල්ලෙන්නේ බිම් බෝම්බ වලට හසු වී විය යුතුය. හමුදා අනුඛණ්ඩය බැස ගිය පසු, රිය තුල යම් තරමක පාළු ස්වභාවයක් විය. අවි අත දරා සිටි ඔවුන් නිසා යම් තරමක 'ආරක්ෂාකාරී' වටපිටාවක් රිය තුල විය. අප අත ජංගම දුරකථන තිබුණත්, ත්‍රිකුණාමලය නගර සීමාවෙන් එපිටට, සංඥා නොමැත.

තව පැය භාගයකට පමණ පසු තවක් කණ්ඩායමක් වන ලැහැබ තුලින් මතුවී පාරට අත පෙව්වේය. සිවිල් ඇඳුමෙන් සැරසි, සෙරෙප්පු පය ලා සිටි ඔවුන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විය යුතු බව දුටුමතින් අප තෙරුම් ගතිමු. බය බිරාන්තවූ රියදුරා 'බරාස්' ගා රිය නැවැත්වීය.

"එංගෙ පෝකිරෙන්? (කොහෙටද යන්නෙ?)" අයෙක් දෙමලෙන් ඇසීය.

"පුල්මුඩෙයි පෝකිරෙන් (පුල්මුඩේ යනවා)"

මම දන්න දෙමළෙන් ගැට ගසා උත්තර දුන්නේ රියදුරු තැන මුණිවත රැකි නිසාය. පසුව කතා බහ කරද්දී දැනගත් පරිද්දෙන් අධික භීතිය නිසා ඔහුගේ තොලකට සිඳී ගොස් අගුළු වැටුනු බව හෙතෙම මා සමඟ කීවේය. අප තිදෙනාගෙන් හොඳින්ම දෙමළ කතාකලේද රියදුරු මහතාය.

"කයියඩි මුඩියමා? (අපිව ඉස්සරහින් දාගෙන යන්න පුළුවන්ද?)". මම හිස වැනුවේ බෑ කියන්නට බැරි නිසාය.

එල්.ටී.ටී.ඊ පිරිස රියට ගොඩ විය. පිරිස හතර දෙනෙක් වූ නිසා රියට වැඩිමනත් බරක්ද නොවීය. අවි දරා සිටි පිරිස නිසා අප සිටියේ අධික තැති ගැන්මකනි. ඒ දක්වාම, අප  තිදෙනාගෙන් කිසිවෙකුට එල්.ටී.ටී.ඊ සටන්කරුවන්මුහුණට මුහුණ හමුවී තිබුණේ නැත. ඔවුන් දෙමලෙන් කතා බස් කරගත් දෙය මට තෙරුණේ යාන්තමිනි.

මේ වනවිට දහවල් දෙක පසුවී තිබුණි. උදයට තේ බිව් අප, ඒ වන විට සිටියේ අධික කුසගින්නෙනි. බෑගයේ වූ විස්කිරිඤ්ඤා හා තල ගුලි කිහිපයක් අනුභව කල අප, පැකට්ටුවෙන් කොටසක් පිටුපස සිටි අයට දිගු කලෙමු."නන්රි (ස්තූතියී)" කියා ඔවුන් එය භාර ගත්තේය. අප අතර වූ 'නාඳුනන ආතතිය' ඉන් බොහෝ දුරට පහව ගියේය.

පුල්මුඩේ දක්වා වූ ඉතිරි ගමන් මඟ , එල්.ටී.ටී.ඊ පිරිස අප සමඟ රැඳී සිටියහ. භාෂා දැනුම මඳ කම නිසා කතා බහ සීමා වීම, වසර ගනනාවකට පසුව උවද මා සිතෙහි යම් පසුතැවිල්ලක් ඇති කලේය.

පුල්මුඩේ නගර මායිමේදී පිරිස බැස ගියෝය. අප, කලින් යොදාගත් පරිදි පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථා පරිශ්‍රයේ ගේට්ටුව අසල රැඳී සිටියෙමු. උදේ හතරට කොලඹිනුත්, දහයට ත්‍රිකුණාමලයෙනුත් පිටත් වූ අප, ගමන සඳහා පැය දහක් ගත කර සිටි බැවින් අධික තෙහෙට්ටුවෙන් සහ කුසගින්නෙන්ද පෙලෙමින් සිටියෙමු.

අප බලාපොරොත්තු වූ පලාත් සභා මන්ත්‍රීවරයා සවස දෙක පමණ වන තුරු සිට පිටව ගිය බව එතැන සිටි මුස්ලිම් වෙළෙන්දෙක් කීවේය. අපි එතුමාට පණිවුඩයක් යවන ලෙස ඉල්ලා සිටියෙමු. වෙළෙන්දාගේ කඩය වූ පැරණි තහඩු සෙවිලි කල ලී මඩුවේ වේලී ගිය බනිස්, කිඹුලා බනිස්, ටොපි බෝතල් කිහිපයක් සහ වියලී ඉදී කළු ගැසුණු කෙසෙල් කැණක් විය. කොලුවෙක් බයිසිකලයක නැඟී පිටත්ව ගියේය. මගේ මතකය නිවැරදි නම් ඒ වනවිට පුල්මුඩේ ජංගම දුරකතන සම්බන්ධතා බිඳ වැටී තිබුණි.

මන්ත්‍රීවරයා පැමිණියේ අඩ පැයකට පමණ පසුවය. අපගේ රාත්‍රී නවාතැන් සඳහා එතුමාගේ ඥාති නිවසක් සූදානම් කර ඇති බව පැවසුවත්, අප ත්‍රිකුණාමලයෙන් ආහාර රැගෙන එතැයි සිතූ එතුමා ආහාර සූදානම් කර තිබුණේ නැත. අප වැටුනේ අලි අමාරුවකය. අප ආ 'වට වන්දනා' ගමන ගැන ඇසූ මන්ත්‍රීවරයා හිසේ අත ගසා ගත්තේය. "ෂඃ ෂඃ, මට කීවනං මම ශෙර්ලට එන්න පාර කියනවනෙ. කෙලින් පාරෙ එහෙම ප්‍රශ්ණයක් නෑනෙ අප්පා" කීවේය.

අප සිටි තත්ත්වය තෙරුම් ගත් මන්ත්‍රී වරයා සරම සහ බැනියම ඇඳ, මුස්ලිම් තොප්පි දමා දෙමල පමණක් කතා කරණ තරුණයන් රැසක් මෝටර් සයිකල් වල පිටත් කර හැරියේය. ඒ අතරම, පැලී ගිය ටයරය පිරික්සා "අහ් මේක රිපෙයාර් කරන්ඩ පුලුවන්. හෙට උදේට ගෙනත් දෙන්නම්" කියා එයද තවත් අයෙකුට බාර දුන්නේය.  අපේ, වාසනාවට, මන්ත්‍රීවරයා භාෂා ත්‍රිත්වයේම චතුරය. ටිකකින් තරුණයෙකු පැමිණ මන්ත්‍රීවරයාට 'කුටු කුටු' ගෑවේය.

ෂර්ලා මුකුත් ඉතන්නේ නැත්තං  අද වෙඩින් එකක් තිබ්බ ගෙදරක කේම තියෙනව. ඒහේ කෑමට යන්ඩ පුලුවන්" මන්ත්‍රීවරය කීවේය. කොහෙන් හෝ බඩ පුරවා ගැනීමට බලා සිටි අපි, එක පයින් ඒ යෝජනාවට කැමති වූයෙමු. 

මන්ත්‍රීවරයා වෙරළබඩ පටුමාවත් දිගේ අපව කැඳවාගෙන ගියේය. මොට්ටැක්කිලි ඇඳ දරුවන් තුරුළු කරගත් ලළනාවෝ අප දෙස බලා සිටියේ පැල්පත් දොරකඩවලින් එබෙමිනි. වසර ගනනාවක් වෙනත් පෙදෙස් වලින් වෙනව දිවි ගෙවන ඔවුන්, වැඩිමනත් පිටස්තරයන් නොදකිනවා විය යුතු යැයි මට සිතුණි.

මුස්ලිම් ක්‍රමයට පැදුරු එලා බිම වාඩි වීමට සැලැස්වූ අප ඉදිරියේ බුරියානි පිරවූ බේසමක්, රොස්ට් කල හරක් මස්, වටලප්පන් සහ පලතුරු ගොඩ ගැසිණි.

"ෂර්ලා සමා වෙන්න ඕනි, කේම ටිකක් නිවිලා තමා තියෙනවා" ගෙහිමියා පැවසීය. කුසගින්නේ පෙලෙමින් සිටි අපට එය දිව බොදුනක්ම විය. ජයරත්න මහතාත්, මමත් හරක් මස් කෑම අදි මදි කරනු දුටු ඔවුන් යුහුසුළුව බිත්තර කිහිපයක් බැද දීමටද කාරුණික විය.

ආහාර ගෙන මඳක් විවේක ගැනීමෙන් පසුව, අප වෙරළේ ඇවිදීමට ගියෙමු. නැගෙනහිර වෙරළට මා පා තැබූ මුල්ම අවස්තාව එය විය.  බටහිර කොලඹ අපිරිසිදු කොළ පැහැයෙන් යුතු සයුර මෙන් නොව, නැගෙනහිර මොණර නීල වර්ණ සයුර නෙතට රසඳුනක්ම විය.  පුල්මුඩේ ඛණිජ වැලි කර්මාන්තශාලාවෙන් ඉවත ලූ වැලි වැටියක් එයට වම් පසින් වෙරළ දිගේ උතුරට විහිදෙන ලෙස ගොඩ ගසා තිබිණි. මුහුදේ සිරි නරඹන්නට තැනූ වේදිකාවක් බඳු එය සැතපුමක් පමණ දුරට විහිදී ඇත්තේය. එහි සිට බලන විට, සයුර, කිලෝමීටර් ගනනාවක් ඈතට පුළුල් පරාසයක දිස් වේ. පිරිසිදු මුහුදු දිය, ඇතැම් තැනක පතුල දක්වාම පැහැදිලිය. මාළු රංචු සරන තැන් අදුරු පැහැයෙන් ඇතිවී-නැතිවී යයි. මුහුදෙහි ගිලුණ නෞකාවක දොඹකර අවශේෂයන් මත මුහුදු පක්ෂීහු වසා සිටියෝය. යුද්ධය නිසා ඇණ හිට තිබූ ධීවර කටයුතු සටන් විරාමයෙන් නව පණක් ලබා ඇති බව මුහුදෙහි ඈත සරණ ධීවර බෝට්ටු සාක්ෂි විය.  කරිජ්ජ සුවඳ මුසු වූ සුලඟ, අපගේ වෙහෙස කඩිනමින් නිවා දැමුවේය.

එදින රාත්‍රියේ නවාතැන් ගෙන, පසුදින අවශ්‍ය සේවා කටයුතු නිම කල අප ආපසු එන්නට පිටත් වූයේ දහවල් ආහරයෙන් පසුවය. ටයරය අළුත්වැඩියා කර ගෙනැවිත් තිබිණි.  මුහුදු මඩ මාර්ගයේ ආපසු පැමිණි අපට ත්‍රිකුණාමලය දක්වා ගැහැටක් නොවීය.


Comments

  1. 2005 අපි ඔය වගේ ම ගමනක් ගියා ත්‍රිකුණාමලේ. බයක් තිබ්බා මොකද ඒ ලඟදි ත් ටවුන් එකෙ හර්තාල් එකක් තිබිලා ඒක ගණන් නොගත්ත කඩේක ට බෝම්බයක් ගහල තිබුනා. හමුදාවෙන් සහ LTTE එකෙන් කියන දෙකෙන් ම හිටියා ඒ පැත්තේ. කින්නියා ෆෙරි එකේ ගිහිං ආසාවට දෙතුන් විටක් දෙපැත්ත ට ගියා. දැන් නම් ඒ ගමන යන්න බැහැ මොකද ඒ ෆෙරි එක අයින් කරලා පාළමක් දැම්මා පස්සේ.
    අපූරු මතක සටහන් එක්ක හොඳ සටහනක්.

    ReplyDelete
  2. උතුරේ ෆෙරි ගොඩක් තිබුණා යුද්දය කාලේ. දැන් ඔක්කොම පාලම් කරල තියෙන්නෙ. ෆෙරි ගමන උන්දර උනාට කාලය ගත වන අවදානම් කටයුත්තක්.

    ReplyDelete
  3. හරි අපූරු ගමනක් නේ අයියේ. Mr.ජයරත්න එක්ක ගමන තවත් හොද වෙන්න ඇති.හරිම හිත හොද තරුණ අය එක්ක හොදින්ම ගනු දෙනු කරන හොද මහත්මයෙක්

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ