ඇෆ්ගන් කතා 14: බුද්දා, කලාස්!

 ඇෆ්ගනිස්තානයේ සේවයට යෑමට පෙර, අනෙකුත් බහුතර ශ්‍රී ලාංකිකයන් මෙන් එරට පිලිඹඳව නොපහන් හැඟීම් සමුදායක් විය. ඇතැම් අරාබි රටවල මෙන් බුදු පිලිමයක් ලඟ තබා ගැනීම සිර දඬුවම් විඳින තත්ත්වයක් වේ දැයි මා නොදැන හෝ, කුකුසකින් යුක්තව සිටියෙමි. නමුත්, ඇෆ්ගනිස්තානයට ගොඩ බැස මුල් සතියේම එවැනි තත්ත්වයක් නැතැයි මම දැන ගතිමි. එබැවින්, ඊලඟ වර ලංකාවට පැමිණ ආපසු යන විට, කුඩා පෝසිලේන් බුදු පිලිමයක්, පිත්තල පහනක්, පහන් තිර, පැන් බඳුනක්, හඳුන් කූරු සහ හඳුන් කූරු බඳුනක් රැගෙන ගියෙමි. කාබුල්හි සීත කාලයට මල් නොමැති නිසා, රෙදි මල් පොකුරක්ද මා විසින් මිලදී ගත් දෑ අතර විය. (දුර බැහැර අවදානම් සහිත රටක වෙසෙන විට දෙවියන් බුදුන් සිහි වීම ස්වාභාවිකය!)

බුදු පිලිමය තැබීමට කදිම, ලාච්චු තුනකින් යුත් කුඩා රාක්කයක් මා සතු විය. එහි මුදුනත, අඩි දෙකක දිගකින් හා පලලකින් යුතු මතුපිටකි. ඇෆ්ගන් පිරිමි වරුන් සාම්ප්‍රදායිකව උරහිසේ දමාගෙන යන දුඹුරු පැහැති රෙදි කඩක්, කාර්යාලයේ ඉස්ලාම් උගතුන්ගේ අනුදැනුමද මත ඒ මත එලා, බුදු පිලිමයත් අනෙකුත් ආම්පන්නත් තැබීමෙන් කදිම බුදු කුටියක් නිර්මාණය කර ගැනීමට මට හැකි විය. මේ බුදු කුටිය, විවිධාකාරයේ කටයුතු සඳහා මගේ නිවසට එන ඇෆ්ගන් වරුන් නිතර දුටුවේය. ඔවුන් කිසිවෙක් ඒ පිළිඹද විශේෂ තරහක් ඇති කර නොගත්තේය.

මගේ නිවස සතියකට දෙවරක් පිරිසිදු කිරීමට, ඇෆ්ගන් ජාතික සේවකයෙකු විය. ආහාර පිසීම සහ රෙදි සේදීමේ කටයුතු මා විසින්ම කරගන්නා නිසා, ඔහුට කිරීමට රාජකාරි ඇත්තේ අල්පයකි. එසේ නමුත්, අපගේ වේතනයෙන් යම් කොටසක් ඇෆ්ගන් ජනතාවට සෙතක් සැලසීමට යෙදවිය යුතුය යන අරමුණින්, අන්තර්ජාතික සිවිල් සේවකයන්, අනිවාර්යයෙන්ම සේවකයෙකයෙකු වැඩට යොදවා ගනී. ඔහුගේ මාසික වේතනය ඩොලර් 200කි . ඊට අමතරව, ශ්‍රී ලංකාවෙන් රැගෙන යන තේ ආදියද, රාමසාන් කාලයට 'බෝනස්දීමනාවක්ද ඔහුට ලැබේ. කාන්තා නිවෙස්න වල සේවයට කාන්තා සේවිකාවන් කීප දෙනෙක්ද සිටී. මොවුන් නිවාස කිහිපයක සේවය කර මසකට ඩොලර් දහසක් පමණ උපයා ගනී. මගේ සේවකයාගේ නම රබාටිය. රබාටි ඉතා අවංකය. ඇතැම් විට, අමතක වීමකින් නිවසේ මුදල් තබා ගියත්, ඔහු ඒවා අතින් අල්ලන්නේ වත් නැත.

බුදු කුටිය පිරිසිදු කිරීම, රබාටි ස්වේච්ඡාවෙන්ම භාර ගත්තේය. බ්‍රහසතින්දා හවසට, සඳුන් කූරු අළු සහ ඇතැම්විට පර මල් ඇත්නම් ඉවත් කොට, පහනේ තිරය සහ ඉතිරි තෙල් විසිකර එය දිස්නය එන තුරු මැද, රාක්කයට එලා තිබූ රෙද්ද ඉවත් කර සෝදා වියලා නැවත එලා, පහනත්, අවශේෂ දෑ ඒ මත තබයි. කුඩා බුදු පිලිමය ටිශූ කඩකින් පිසදා ගෞරවයෙන් තබයි. රබාටි, බුදු පිලිමයට ඉතා ගරු සරුය.

කාලය මෙලෙස ගෙවී ගියේය. එක් බ්‍රහස්ප්‍රතින්දා දිනක සවස් වරුවේ, මම කාර්යාලයේ තනිව රැඳී සිටියෙමි. සහයක ඉංජිනේරුවන් දෙදෙනාම ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා බාමියන් වෙත පිටත්ව ගොස්ය. රබාටි, හති දාගෙන දිව ආවේය. ඔහුගේ මුහුණේ දැඩි තැති ගැන්මක් විය.

"වට්ස් ද මැටර් රබාටි?" (රබාටි මොකද්ද ප්‍රශ්ණය?)

මම ඇසුවෙමි. රබාටි යමක් කියන්නට උත්සාහ කරත්, වචන පිටවන්නේ නැත. මම ඉවසිල්ලෙන් බලා සිටියෙමි.

"සර්. සර්... බුද්දා.. කලාස්" (කලාස් යනු ඉවරයි යන අරුත් දෙන පදයකි)

මට එක වර තේරුණේ නැත. බාමියන් බුදු පිලිම සිහි විය.

"අයි ඩෝන්ඩ් අන්ඩර්ස්ටෑන්ඩ් රබාටි” (මට තේරෙන්නෙ නෑ රබාටි) මම කීවෙමි.

"කම් කම්" (එන්න එන්න) රබාටි එසේ කීවේ ඉතාම තැති ගැන්මෙන් යුක්තය. මම ඔහු අනුව මගේ නිවසට ගියෙමි. කාර්යාලයේ සිට නිවසට ඇත්තේ ඉතාම කෙටි දුරකි.

නිවසට ගිය, ඔහු ඇඟිල්ල දිගු කර බිම වැටී තිබුණු බුදු පිලිමය පෙන්වූයේය. මට ක්ෂණිකව සිදු වී ඇති දෙය වටහා ගත හැකි විය. පිරිසිදු කිරීමට යාමේදී, රබාටි අතින් බුදු පිලිමය බිම වැටී ඇත. මම පිලිමය අහුලාගෙන බැලුවෙමි. සිරස වෙන් වී ඇත. පිලිමයේ බඳ කොටස පුපුරා ඇත.

 රබාටි තැති ගැන්මෙන් යුක්තව බලා සිටියේ අනුකම්පා සහගත මුහුණකිනි.

"ආ මේක හදාගන්න පුලුවන්නෙ සුපර් ග්ලූ වලින්. කලබල වෙන්න දෙයක් නෑ" මම ඉංග්‍රීසියෙන් කීවෙමි.

"සර්. මට සාප වෙන එකක් නැද්ද?" රබාටි ඇසුවේය. මට සිනා පහල විය.

"රබාටි ඇයි එහෙම අහන්නෙ?"

"සර් බාමියන් බුද්දා කඩපු නිසා සාප උනයි කියල මිනිස්සු කියනව. මට එහෙම වෙන එකක් නැද්ද" රබාටි තවමත් තැති ගත් ගමන්ය. මගේ සන්සුන් කම නිසාදෝ ඔහුගේ මුහුණේ යම් අස්වැසිල්ලක්ද විය.

මම අතින් සන් කොට රබාටිට වාඩි වන්නට කියා පැහැදිලි කලෙමි.

"බාමියන් බුදු පිලිම කැඩුවා කියල රටට සාප වෙනවද කියන්න මම දන්නෙ නෑ රබාටි. ඒත් ඔයා පිලිමෙ කැඩුවෙ හිතල නෙමේ. අත් වැරැද්දකින්. පිලිමය පිරිසිදු කරන්න ගිහින්. හොඳ වැඩක් කරන්න ගිහින්. අනික මේක පෝසිලේන් පිලිමයක්. මේක අලවල හදමු. ඕනි තරම් පරණ පිලිම එහෙම අලුත්වැඩියා කරනවා. මේ බුද්දා නෙමේ. මේක බුදුන් වහන්සේ සිහිකරගන්න හදපු දෙයක්. ඔයාට හානියක් වෙන්නෙ නෑ. අනික බුද්ධාගමේ පලිගැනීම්, සාප නෑ"

රබාටි සැනසීමට පත් විය. වහා සුපිරි වෙළඳ සැලෙන් සුපර් ග්ලූ ටියුබයක් තමන්ගේ මුදලින් රැගෙන ආ රබාටි, මට කියා පිලිමය අලවා ගෞරවයෙන් තැන්පත් කලේය. ඒ පිලිමය,මා ඇෆ්ගනිස්තානයේ සිටිනා තුරු වැඳුම් පිදුම් ලැබුවේය. මේ සිදුවීම, මේ දක්වා දැන සිටියේ රබාටි සහ මම පමණි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ