ඇෆ්ගන් කතා 8: කඳවුරේ ජීවිතේ
2014 වසර වන විට කාබු නුවර ආරක්ෂිත තත්ත්වය පිරිහී යාමත් සමඟ එහි රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන වල සේවය කරන අයට කඳවුරු/පරිශ්‍ර තුල ගාල්වීමටත්, ගමන් බිමන් සඳහා වෙඩි නොවදින ලෑන්ඩ් කෲසර් යොදා ගැනීමටත් සිදු විය. අවාසනවකට, සුන්දර කාබුල් නගරයේ අවන්හල් සහ අනෙකුත් සුන්දර ස්ථාන සංචරකයන්ගෙන් තොර විය.
ඇෆ්ගනිස්තානයේ මෙලෙස ඉඳිවී ඇති කඳවුරු/පරිශ්‍ර ගනන කොතෙක්දැයි මම දැන සිටියේ නැත. මා නවාතැන් ගෙන සිටියේ, කාබුල් ජලාලාබාද් මහා මාර්ගයේ පිහිටි යුනෝකා පරිශ්‍රයේය. (UNOCA (UN Operational Complex in Afghanistan)). එය කාබුල් නගර මධ්‍යයෙන් කිලෝ මීටර් 6 ක් පමණ දුරින් කාබුල්-ජලාලාබාද් මාර්ගයේ පිහිටා ඇත. අක්කර 50 ක පමණ භූමි පෙදෙසක් වටා පැතිර ඇති මෙම පරිශ්‍රය කාබුල් නුවර පිහිටි විශාලම සේවා පරිශ්‍රයයි (service compound). කඳවුර යන වචනය තරමක් 'සිර වුනු' බවක් දක්වන නිසා පරිශ්‍රය යන වචනය මෙතැන් සිට භාවිතා කරමි.
යුනෝකා පරිශ්‍රය ඇතුළු සෑම ආරක්ෂික ස්ථානයක්ම ඝණ කොන්ක්‍රීට් ටී බිත්ති (T walls) වලින් වටකොට ඇත්තේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දීම සඳහාය. මේ ටී බිත්ති, ඝණ කේබලයකින් අමුණා, පෙරලී යාම වලක්වා ඇත. ඇතුල් වීමට හා පිටවීමට සීමිත ගේට්ටු ප්‍රමාණයක් ඇත. මේ බාහිර ගේට්ටු ඇෆ්ගනිස්තාන දේශීය ආරක්ෂකයන් සහ විදේශීය ආරක්ෂකයන් විසින් මුර කරනු ලැබේ. ඇතුල් වන වාහන හා පුද්ගලයින් දැඩි පරීක්ෂාවකට යොමු කෙරේ. කඳවුරු බිත්තිය වටා, උස් මුරකුටි ඇත. ඒවායේ සහ අභ්‍යන්තර කඳවුරු ආරක්ෂණය නේපාල ගුර්කා සෙබළුන්ට (Gurkha) භාරය. ඉතා විශ්වාසී ගුර්කා සෙබල අණුඛන්ඩයක් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආරක්ෂාවටද යොදා තිබීම, ඔවුන්ගේ විශ්වාසවන්තීභාවය මැනවින් ප්‍රකට කරන්නකි.
යුනෝකා පරිශ්‍රය කුඩා නගරයක් මෙනි. එහි මැදින් දිවෙන ප්‍රධාන පාරක්ද, අතුරු පාරවල්ද ඇත. ක්‍රීඩා පිටි, සුපිරි වෙලඳ සැල්, එලවළු කඩ, සාප්පු බඩු කඩ, අවන්හල්, පීසා වෙළඳ සැල්, සමාජ ශාලාවක්, කොන්ඩා කපන සහ සකසන ස්ථාන ආදිය ඇත. මුදල් ගනුදෙනු සඳහා බැංකු ශාකා, කුඩා ප්‍රමාණයේ රෝහලක් සහ හදිසියකට හෙලිකොප්ටරයක් ගොඩබැස්විය හැකි හෙලිපෑඩයක්ද ඇත. ඊට අමතරව බඩු ගබඩා, ඉන්දන පිරවුම් හලක් සහ කාර්යාල, සේවක නවාතැන් ආදියෙන්ද සම්පූර්ණය. මා සේවය කල එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල් කාර්යාලයේ (UNICEF) ස්තිර සේවකයන්ට සියළු පහසුකම් සහිත, තනි කාමරයේ කුඩා නිවෙස්නයක්, මාසික කුලියක් ගෙවීමේ පදනම මත ආයතනය විසින්ම සපයනු ලබයි. මේම කුඩා නිවෙස්නයට මම අතිශයින්ම ප්‍රිය කලෙමි. එහි තනි කාමරයක්, නාන කාමරයක්, සාලයක්, මුළුතැන් ගෙයක්, රෙදි සේදීමේ හා වියලීමේ පහසුකම් ඇත. මෙම නිවාස ඇත්තේ හතරේ හෝ අටේ සමූහ වශයෙනි. නිවස ඉදිරියේ මල් දෙවැටක් වෙයි. එහි, වසන්ත කාලයට රෝස මල් පොකුරු පිටින් පිපේ. ස්තිර නොවන කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන්ට නාන කාමරයක් සහ ඇඳක් සහිත නිවසක් ලෙස සැකසූ අඩි 20 ක හෝ 40 ක කන්ටේනරයක් ලැබේ. අඩි 40 කන්ටේනර් නිවසේ කුඩා මුළුතැන්ගෙයක් ඇත. අඩි 20 කන්ටේනර් වාසීන්ට පොදු මුළුතැන් ගෙයක් සහ රෙදි සේදීමේ පහසුකම් ලැබේ.
පරිශ්‍රයට කොටු වී සිටින අප, සවස් වරුවේ ව්‍යායාමය පිනිස ඇවිදිමු. කාබුල් නුවර, ලොව වැඩිම වායු දූෂණයෙන් යුත් නගර අතරින් එකකි. එබැවින් මුව ආවරණයක් පැලඳ ව්‍යායාමයේ නිරත විය යුතුය. වැසි සහිත සීත සමයේ මේ තත්ත්වය මඳක් අඩුවී වායුගෝලය පිරිසිදු වේ. එවිට, කාබුල් නුවර පසුතලයේ ඇති හින්දුකුෂ් කඳු වැටි මනරම්ව දිවේ.
සති අන්තයේ බොහෝ විට සාද පැවැත්වේ. මේ සඳහා වෙන් වූ එලිමහන් මෙන්ම ගෘහස්ථ ස්ථානද ඇත. ගෘහස්ත ස්ථාන ඇත්තේ සීත සමය සඳහාය. ලෝකයේ සෑම මහද්වීපයටම අයත් පිරිස්, යුනෝකාවේ වෙසෙති. ඔවුන්ට ආවේණික ආහාර, සංගීතය ආදිය විඳීම, සංස්කෘතික සම්මිශ්‍රණය, එක්සත් ජාතීන්ගේ ආයතනයට සේවය කිරීම තුලින් මා ලද මිල කල නොහැකි සම්පතයි. විවිධ කෑම, බාබකිව්, බීම වර්ග, අතුරුපස, ලෝක සංචාරයක් ගියාක් මෙන් අත් විඳින්නට ලැබීම වචනයෙන් විස්තර කල නොහැකි භාග්‍යකි. මෙම සාද වලට අමතරව, පරිශ්‍රයේ විසූ 7 දෙනෙකු පමණ වූ ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ද බ්‍රහස්ප්‍රතින්දා රාත්‍රියට පැවැත්වේ. අප එකිනෙකා බත් හා ව්‍යාංජන වර්ග පිලියෙල කරගෙන ගොස් බෙදා හදාගෙන රස විඳිමු. කාබුල්හි විසීම නිසා, අප සියළු දෙනාම කෝකියන් බවට පත් වී සිටියෙමු. එකිනෙකා වෙනුවෙන් උපන්දින සාද, නව වසර, නත්තල්, දීපාවලී හා රාමසාන් සැමරීමද සිදු කෙරේ. රටේ ආරක්ෂක තත්ත්වය හොඳ නම්, ශ්‍රී ලාංකිකයන් ඇෆ්ගනිස්තානයේ ඇති ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ නිදහස් දින සමරුවට එක් වෙති. මා එහි සිටින කාලයේ ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූයේ එයා චීෆ් මාශල් ගගන් බුලත්සිංහල මහතාය.
මවු රටින් වෙන්ව දුරු රටක වෙසෙන අප අතරේ එකිනෙකාගේ දුකට පිහිට වෙන විශාල බැඳීමක් විය. එක් වරක්, මගේ පතුලේ බෝතල් කටුවක් ඇනී එය සුළු සැත්කමකින් ඉවත් කලේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වූ විග්නේශ්වරන් මහතාය. ඇෆ්ගනිස්තානයේ උන්නතාංශය, උශ්නත්වය ආදිය වෙනස් නිසා ආහාර පිලියෙල කිරීම අත්හදා බැලීම් තුලින් හුරුවීමට මට සිදු විය. මුල් යුගයේ, එවන් අත්හදා බැලීමකදී පපඩමක් පිපිරී යාමෙන් මගේ ඇසකටද හානි සිදුවිය. මෙවන් අවස්තාවක අසල් වැසි වෛද්‍යවරු පිහිටට එති.
සති හයක සේවයෙන් පසු සත් දිනක නිවාඩුවක් ලැබෙන්නේ පරිශ්‍රය තුලටම වී සිටීමෙන් වන මානසික පීඩාව සහ ඒකාකාරී බව මඟහරවා ගැනීම සඳහාය. අතිරික්ත නිවාඩු ඇත්නම්, ඒවාද එකතු කර, ප්‍රධානියාගේ කැමැත්ත මත සති දෙකක නිවාඩුවක් වුව ලබා ගත හැකිය. බොහෝ ශ්‍රී ලාංකිකයෝ තම මවුබිමට එති. මේ නිවාඩුව සඳහා ලැබෙන දීමනාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හා ආපසු යෑමට ව්‍යාපාරික පන්තියේ ගුවන් අසුනක් වුවද මිලදී ගත හැකිය. කැමති නම්, සකසුරුවම් ගුවන් යානයක ගමන් කර, ඒ මුදලින් කොටසක් ඉතිරි කර ගැනීමටද බාධාවක් නොමැත!
මේ ලිපි පෙල කියවන ඔබට, 'මුන් විඳින්නේ කොතරම් සැපයක්දැ?' යි කියා සිතෙන්නටද ඉඩ ඇත. කඳවුරු ජීවිතයේ අඳුරු පැත්ත කියා දෙන්නට මෙතැන් සිට උත්සාහ කරමි.
මම ඇෆ්ගනිස්තානයට පා තැබුවේ 2014 නොවැම්බරයේදීය. ඒ වසරේදීම ජනවාරි මාසයේ කාබුල් නුවර තුර්කි අවන්හලකට එල්ල වූ ප්‍රහාරයකින්, එක්සත් ජාතීන්ගේ සිවිල් සේවකයන් සිව් දෙනෙකු ඝාතනය වීමේ උණුසුම, ඒ ව්නවිටත් පහව ගොස් තිබුනේ නැත. කණගාටුවට කරුණක් ලෙස, එලෙස මිය ගිය සිව් දෙනාගෙන් දෙදෙනෙක්ම, එක්සත් ජාතීන්ගේ ලමා අරමුදලේ සේවිකාවන් දෙදෙනෙකි. බස්රා හසන් හා නස්රීන් ඛාන් ඒ දෙදෙනාය. යුනෝකාවට පා තැබූ මුල් දින වලම, ඔවුන් වෙනුවෙන් පැවැත්වූ අනුස්මරණ උත්සවයක පහන් දැල්වීමට මමද එක් වුනෙමි. මෙම සිදුවීමත් සමඟ, පරිශ්‍රයෙන් පිටතට යෑමේ සුළු හැකියාව පවා ඇහිරී ගියේය. පසු කාලීනව බස්රා හා නස්රීන් නමින්, එක් සම්මන්ත්‍රණ ශාලාවක් නම් කෙරිණි (Basra and Nasreen Conference Hall). ඔවුන් දෙදෙනා මිය ගිය මොහොතේ සිට, මල සිරුරු හඳුනාගෙන, යුනෝකා පරිශ්‍රයට ගෙන ඒම සිට, ඔවුන් මියගිය ආකාරය දක්වා සියළු තොරතුරක්ම, මගේ සමීපතම මිතුරෙකු විසින් පසුව මට කීවේය. විශ්වාස කරන්න! එය ඉතා හද පාරන සුළුය.
ආදරණීය බස්රා හා
නස්රීන්. ඔවුන්ගේ ආත්මයන්ට ශාන්තියම වේවා!
යුනෝකා පරිශ්‍රයේ භූගත බංකර කිහිපයක් තිබේ. හදිසි අවස්තා සයිරනය නාද වූ විගස, වෙඩි නොවදින ඇඳුම් සහ හෙල්මටය පැලඳ, අත්‍යාවශ්‍ය ගමන් බෑගය සහ වෝකී ටෝකීයද රැගෙන බංකරයට දිව යා යුතුය (මෙම බෑගයේ ඇත්තේ, හදිසියේ රටින් පිට වීමට හෝ මෙහෙයුමක් මඟින් මුදා ගැනීමට සිදු වුවහොත් අත්‍යාවශ්‍ය වන ජලය, ඇඳුම් කිහිපයක්, මුදල්, ගමන් බලපත්‍රය ආදී ලියකියවිලිය. අවශ්‍යනම් සියල්ල හැරදා පලා යාමට සූදානම් ශරීරයෙන් සිටිය යුතුය). මේ සඳහා පුහුණුවක් නිරන්න්තරයෙන් සැපයේ. ඇතැම්විට ආරක්ෂකයන් යොදා ගෙන, වෙඩි හෝ රතිඤ්ඤා පුපුරුවමින්, සැබෑ ප්‍රහාරයක් මවා පානු ලබයි. ඇෆ්ගනිස්තානයට පය තබා, ක්ෂේත්‍ර සංචාරයන් කිරීමට පෙර දින තුනක අනිවාර්ය පුහුණුවක් ලබා දෙනු ඇත. මේ පුහුණුවේදී ප්‍රතමාධාර, ඇෆ්ගන් සංස්කෘතිය, හදිසි අවස්ථාවකදී කල නොකල යුතු දෑ ආදී අටෝරාසියක් දේ ඉගැන්වේ. පුහුණුව අවසානයේදී ක්ෂේත්‍ර අත්දැකීමක් ලබා දෙනු ලැබේ, මෙහිදී ඔබට ප්‍රාණ ඇපකරුවෙකු ලබන අත්දැකීම වුවද ලබා ගැනීමට හැකියාව ලැබේ. එය නම් රසවත් නැත! මා ඇෆ්ගනිස්තානයේ සිටි කාලයේ, පරිශ්‍රයට ඉහලින් පියඹා ආ උණ්ඩයක් හැරෙන්නට, ප්‍රහාරයක් වැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වූයේ නැත.
කාබුල් සීත සෘතුව ඉතා දිගුය. නොවැම්බරයේ මුල ඇරඹෙන එය, අප්‍රේල් මස මුල් සති දෙක දක්වාම දිගුය. සීත සෘතුව ශුශ්කය, හිම වැටෙන්නේ කලාතුරකිනි. එබැවින් උශ්ණත්වය සෘණ ගනන් දක්වා බසී. එම කටුක සීතල, ඉතා ඉක්මනින් රෝග කැඳවයි. හිරු නැගෙන්නේ උදේ අටට පමණ වන අතර, එයද හවස හතර පමණ වන විට බැස යයි. හාත් පස අඳුර විසින් වෙලා ගනු ලබයි. කාබුල්හි බහුල මැග්පී කුරුල්ලන් (Eurasian magpie) නිහඬ වෙයි. රෝස පඳුරු පිටින් වියලී යයි. ඇපල්, පීච් ආදී පලතුරු ගස් වල කොල හැලෙයි. අඳුර හා සීතල, පාළුව දනවයි. ශ්‍රී ලංකාව වැනි නිවර්තන රටකින් එහි යන අපට, ඒ අඳුර සහ කාංසිය තදින් දැනේ. සති හයක් යනු ඉතා කෙටි කාලයක් ලෙස හැඟුනත්, ඔරලෝසුවේ කටු නැවතුනාක් මෙන් එම කාලය ගලා යන්නේ ඉතා සෙමිනි. ඇෆ්ගනිස්තානය වැනි දුෂ්කර සේවා ස්ථානයක වසර තුනකට වඩා සේවය කිරීම, ආයතනය විසින් අනුමත කරන්නේ හෝ නැත. සති දෙකක ශ්‍රී ලාංකීය විවේකය, ඉතා සැනින් ගෙවී යයි. කාලයත් සමඟ හුරු වුවත්, එය කටුකය. ඇතැම් සීතල දිනවල, මම පොරෝනාවක් තුල ගුලිවී, පහන්ද නිවා දමා, අමරදේවයන්ගේ "රෑ දුරු රට මේ" ගීතය මගේ බෝස් (Bose) ස්පීකරයෙන් අසා ඉමි. සිටියෙමි. ශෝකයද රසයකි.
[එක්සත් ජාතීන්ගේ වගකිවයුතු සිවිල් සේවකයෙකු වශයෙන්, මෙම ලිපිය සම්පාදනයේදී ස්වයං වාරණයකින් යුක්තව ඇතැම් සංවේදී කරුණු සහ ඡායාරූප දැනුවත්ව ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න]
ඇත්තට එතනින් වටිනා ම දේ තමා සංස්කෘතික මුසු වීම. ඒක නෙවේ අයියා, පපඩමක් පුපුරලා කිව්වේ??
ReplyDeleteඑහේ උන්නතාංශය හා පරිසර උශ්නත්වෙ වෙනස් නිසා මම තෙල් ඕනවට වඩා රත් කරල. පපඩම් සීතල වෙලා තිබ්බෙ. තෙලට දාද්දිම පිම්බිලා පිපිරුනා. ඇහැට තෙල් විසිඋනා. බෙහෙත් දැම්ම.😬
Deleteඑහේ උන්නතාංශය හා පරිසර උශ්නත්වෙ වෙනස් නිසා මම තෙල් ඕනවට වඩා රත් කරල. පපඩම් සීතල වෙලා තිබ්බෙ. තෙලට දාද්දිම පිම්බිලා පිපිරුනා. ඇහැට තෙල් විසිඋනා. බෙහෙත් දැම්ම.😬
Deleteඑහේ උන්නතාංශය හා පරිසර උශ්නත්වෙ වෙනස් නිසා මම තෙල් ඕනවට වඩා රත් කරල. පපඩම් සීතල වෙලා තිබ්බෙ. තෙලට දාද්දිම පිම්බිලා පිපිරුනා. ඇහැට තෙල් විසිඋනා. බෙහෙත් දැම්ම.😬
Delete