ඇෆ්ගන් කතා 4 : බාමියන්

 ඇෆ්ගනිස්තානයේ, ජපාන ආධාර යටතේ ඉඳි වූ පාසල් 70 ක ව්‍යාපෘතියක් විය. මගේ වෘත්තීයමය අභියෝගය වූයේ, එම පාසල් ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමය. 2012 ආරම්භ කල එම ව්‍යාපෘතිය, 2014 අග භාගය වන විටත් පටන් ගත් තැනම අලියෙකු මෙන් ඔහේ ලැග සිටියේය. ජපනාට මලම පැන තිබුණි. ඇෆ්ගනිස්තානයේ, මගේ පලමු සාකච්ඡාව, ජපන් තනාපති කාර්යාලය සමඟය. බැනුම් දෝස් මුරයක් සමඟ මගේ නම්බුවත්, ආයතනයේ නම්බුවත් නිසා හිස පහත් කරගෙන ඔහේ අසාගෙන සිටීමට මට සිදුවිය. වසර ගනනක් අවසානයේ, ජපනා මට තවමත් ස්තූති කර ලියයි. මේ සටහන මා ගැන පම්පෝරි ගැසීමට නොවන නිසා මාතෘකාවට යොමු වෙමි.

ජපාන පාසල් ව්‍යාපෘතිය ඉඳි වූයේ ඇෆ්ගනිස්තානයේ මධ්‍ය කඳුකරයේය. බාමියන්, දයිකුන්ඩි සහ ගෝර් පලාත්, මධ්‍ය කඳුකරයට අයිති විය.  බාමියන් සහ දයිකුන්ඩි, මගේ නිරන්තර ගමනාන්ත වූවත්, ගෝර් වෙත යෑමට මට වාසනාවක් නොවීය. එම ප්‍රදේශය, මුලුමනින්ම තලේබාන් පාලනයට නතුව තිබිණි. 

බාමියන් සහ දයිකුන්ඩි සඳහා ඇත්තේ සතියක් පමණ ගතවන දුශ්කර මාර්ගයකි. එමනිසා, අපේ ගමන් සිදුවන්නේ හෙලිකොප්ටර් හෝ කුඩා කුරුල්ලන් වැනි ටර්බෝ ටොප් අහස්යානා මඟිනි. බහුලවම ඇත්තේ රුසියානු MI 8 හෙල්කොප්ටර් යානාය. මේම යානා පදවන්නේ හැඩි දැඩි රුසියානු ගුවන් නියමුවන් විසිනි. ඔවුන්ගේ ප්‍රමුඛත්වය මඟී සැප පහසුව නොව, ජීවිතාරක්ෂාවයි. එබැවින් දෝ, හෙලිකොප්ටර් ගමන පීඩාකාරීය. ලංකාවේ දුශ්කර මාර්ගයක දුවන කබල් බසයක් මෙන් හෙලිකොප්ටරය ගැස්සේ. සිදුරු වලින් භූමි තෙල් ගඳ හමා එයි. අතිශයින්ම ඝෝෂාකාරීය. ඉයර්ෆෝන් නොදා ගමන් කිරීම අසීරුය. මට එසේ උවත්, මගේ ඇෆ්ගනිස්තාන් ජාතික සේවක මඬුල්ල, හෙලිකොප්ටරයේ බංකුව උඩ දිග ඇදී නිදාගනී. 

කාබුල් ගුවන් තොටින් සැහැල්ලුවෙන් ඉහල නඟින හෙලිකොප්ටර් යානය, සැලකියයුතු උසකින් ගමන් ගන්නේ, කඳු මුදුන් වල සිට රොකට් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති නිසාය. මා, ඇෆ්ගනිස්තානයේ සිටි කාලයේ, එසේ හෙලිකොප්ටරයක් බිම වැට්ටවීමක් සිදු වූ බවට හාංකවිසියක් වත් වූයේ නැත. එනමුත් සූදානම් ශරීරය කියා අපි උඩින් පියාඹමු. බාමියන් වෙත්, ලගාවන විට නියමුවා ඉතා වේගයෙන් හෙලිකොප්ටරය පහලට ගන්නේ, හැකි ඉක්මනින් ගුවන් පඨයට ගොඩ බෑම සඳහාය. මේ හදිසිය කොතරම්ද යත්, එක් වරක මෙවන් 'දඩි බිඩි' ගොඩබෑමක් නිසා කොඳු ඇට පෙලට සදාකාලික හානියක් වූ විදේශිකයෙක් ගැන කතාවක්ද ඇත. බාමියන් නිම්නයට ලඟාවන විටම, වම් පසින් සුප්‍රකට බුදු පිලිම පිහිටි රතු වැලි ගල් කඳු වැටිය දිස්වේ. තලේබාන් අනතවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් පිලිමයේ අනුරුවක් ගුවන් තොටේ නෙලා ඇත. බාමියන් ගුවන් තොට සහ බාමියන් පිලිම වල සංරක්ෂණ කටයුතු වලට ආධාර කරනුයේ ජපාන රජයයි.  බාමියන්, දකුණු ආසියානු සහයෝගතා සංවිධානයේ සංස්කෘතික අගනුවරයි. 

බාමියන් බුදු පිලිම නැරඹීම සඳහා මා වෙත නිකුත් කල ටිකට් පත

ඇෆ්ගනිස්තානය යනු, අන්තවාදීන් පිරුණු රටක් යැයිද, ඔවුන් බාමියන් බුදු පිලිම විනාශ කලේ යැයිද බෝහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරති. ඇත්ත වශයෙන්ම එය එසේ නැත. ත්‍රස්තවාදය සහ අන්තවාදය යනු, ඇෆ්ගනිස්තානයට පිටින් පෙවූ හලාහල විශකි. බොහෝ ඇෆ්ගන් වැසියන් අතිශයින්ම සාමකාමීය, ආගන්තුක සත්කාරයේ ලැදිය. අවංකය. 35% ක් පමණ අඩු සාක්ශරතාවක් ඇති ගොඩබිමින් සිව් දෙසින්ම වටවූ රටක් වැසියන්ට, අන්තවාදය පෙවීම අසීරු නැත. ඇරත්, එරට ප්‍රධාන අසල්වැසියන් දෙරට වන ඉරානය සහ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සශ්‍රීක, ස්තාවර රටක් වනවාටද කැමති නැත. පාකිස්තානය, වෙනකක් තබා ගඟක් හරස් කර වේල්ලක් හෝ බඳින්නට දෙන්නේ නැත.

බාමියන් බුදු පිලිම විනාශ කලෝ තලේබාන් අන්තවාදීන්ය. තලේබාන් සංවිධානයේද, උප නායකයෙකුගේ අත්තනෝමතික ක්‍රියාවකි. බාමියන්හි තලේබාන් පාලනය ගිලිහුණ පසු, මෙම උප නායකයා මුජහිදීන් අත් අඩංගුවට පත් විය. මුජහිදීන් නායකයෙකු බාමියන් පිලිම විනාශ කලේ ඇයිදැයි ඔහුගෙන් ඇසූ විට පවසා ඇත්තේ., "මිනිසුන් පිලිම වලට වඳින බවත්, එය ඉස්ලාමයට පටහැනිබවත්ය. මුජහිදීන් නායකයා, "මිනිසුන් ඉරටත්, සඳටත් වදිනවා, ඔබට ඒවාත් විනාශ කල හැකි දැයි" ඇසූ විට ඔහු නිරුත්තර වී ඇත.


විනාශ කල පලමුවන පිලිමය (යකඩ පලංචි සහිතව )

ඇෆ්ගනිස්තාන් බාමියන් නිම්නය, එරට සංචාරක ව්‍යාපාරයේ එක් කේන්ද්‍රස්තානයකි. එය අහිමි වීම, බාමියන් වැසියන් ඉතා කණගාටුවට පත් කර ඇත. බාමියන් පිලිම වලට නුදුරින් අර්තාපල් වගාවක් පවත්වාගෙන යන එක් මහළු ගොවියෙකු වරක් මට පැවසුවේ "බුද්දා මගේ අසල් වැසියෙක් වගේ. මම උදේට ඉස්සෙල්ලම වගාවට යනකොට දකින්නෙ බුද්දා. දැන් මට මගේ අසල්වැසියා නෑ වගේ දුකක් දැනෙන්නෙ. බුද්දා ආය හදනවා නම් හොඳයි" යනුවෙනි.

 බාමියන් නිම්නය, මුහුදු මට්ටමෙන් මීටර් 2500 ක් පමණ උඩින් පිහිටි නිසා, ඉතා ශීතල පලාතකි. ගිම්හානයේදී එහි උෂණත්වය සෙල්සියස් 18 පසු කරන්නේ නැත. සීත සෘතුවේදී ඇතැම් විට එය සෙල්සියස් - 22ක් තරම් අඩු අගයක් ගනී. මම එක් වරක්, අධික හිම පතනයක් නිසා, බාමියන් නගරයේ සතියක් සීතලේ ගැහෙමින් කොටුවී සිටියෙමි. බාමියන් නුවර, මා ඇෆ්ගනිස්තානයේ සිටි කාලයේත්, දැනුත් පවතින්නේ රජයේ පාලනය යටතේය. බාමියන් සාපෙක්ෂ වශයෙන් ආරක්ෂිතය, වෙඩි නොවදින වාහන අවශ්‍ය නැත. නුවරුන් දියුණුය. කාන්තාවන් බුර්කා ඇදීමක්ද නැත. ඔවුන් මෝටර් රථ පදවාගෙන යාම සුපුරුදු දසුනකි.  කාබුල් නුවරට සාපෙක්ෂව පිරිසිදු බාමියන්හි, මනරම් කොල පැහැති ඇපල් වගාවන්, දෙළුම් වගාවන් සුලභය. ඇතැම් තැනෙක අත්හැර දමා ගිය  රුසියානු යුධ ටැංකිද ඇත. එක්සත් ජාතීන් සතුව, කඳු බෑවුමක ඉඳිවූ මනරම් කඳවුරක් ඇත. මා නවාතැන් ගන්නේ එහිය.


විනාශ කල දෙවන පිලිමය

බාමියන් නුවරට මුල් වරට පා තැබූ පසු, පිලිම, පිලිම පිහිටි ස්තානය නැරඹීමට මට ඉවසිල්ලක් නොවීය. ඇෆ්ගන් රජයේ ටිකට් කවුන්ටරයෙන් ටිකට් පතක් මිලදී ගෙන පහසුවෙන් එහි පිවිසිය හැකිය. විශාල හා කුඩා පිලිමය පිහිටි තැන් පමණක් ඉතිරිව ඇත. වෙඩි සහ ශෙල් වෙඩි පහරට, ගල් පව්ව ඉරිතලා ගොස් ඇත. ඔඅ, අන්තර්ජාලයේ බාමියන් පිලිම වදන පිරික්සුවහොත්, විශාල පිලිමය ඉදිරියේ යකඩ අට්ටාලයක් ගොඩනඟා තිබෙනු දකීවි. එම අට්ටාලය ගොඩ නඟා ඇත්තේ පව්වේ පතුරු බිම වැටෙනවා වලක්වන්නට මිස, එය කිසියම් ආකාරයක ප්‍රතිසංස්කරණ උත්සාහයක් නොවේ.

වෙඩි පහරින් බිඳ වැටුණු පිලිම කැබලි එකතුකර, අංක යොදා මඩු දෙකක අසුරා ඇත. ඒවා එක්කර පිලිම නැවත ගොඩනැඟීමට කාල පරාසයක් හෝ කිව නොහැකි බව, එහි සේවය කල ජපාන පුරා විද්‍යා විශේෂඥ වරියක මා හා පැවසුවාය. ඇයට ඇෆ්ගනිස්තානය සමග පුරාතන බැඳීමක් විය. ඇගේ දෙමාපියන් එහි සංචාරය කල දිනවල ඇය මවු කුස පිලශිඳ ගෙන ඇති බව ඇය විශ්වාස කරයි. ඇය තවමත් මගේ මිතුරියකි.

බාමියන් විහාර සංකීර්ණය, එකිනෙකට යා වූ ගුහා සහ උමං පද්ධතියකින්ද සමන්විතය. ඒවා තුල භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කර ඇත. මෙම ගුහාවන්හි පියස්සේ අගන මල් ලියකම්, බුදු සිරිත ආදී චිත්‍ර ද ඇඳ ඇතත්, ඒවා සියල්ලම අන්තවාදීන් විසින් විනාශ කර දමා ඇත්තේ ඉතාමත් සාහසික ආකාරයෙනි. මෙම ගුහා සහ උමන් තුලින්, බුදු පිලිම වල සිරස දක්වාම ගමන් කල හැකිය. පලමු පිලිමය අසල ඇති පිපිරුම් හේතුවෙන් ඒ තුලට පිවිසීමට අවසර නැතත්, දෙවන පිලිමයේ සිරස අසලටම ගමන් කිරීමට මට වාසනාව හිමිවිය. ගුහා තුල සිදු කර ඇති විනාශය ඛේදනීයය.


 බාමියන් නිම්නයේ මම

බාමියන් විහාර ආරාම සංකීර්ණය මෙතෙක් සම්පූර්ණ වශයෙන් කැණීම් කර නොමැත. ඇතමුන් පවසන පරිදි, පොලව යට වැලළුන විශාල ප්‍රමාණයේ සැතපෙන පිලිම වහන්සේ නමක්ද එහි ඇත. පවතින යුධමය වාතාවරණය කවදා හෝ පහව ගියහොත්, බාමියන් විහාර සංකීර්ණයේ සැඟවුන යටගියාව හාරා අවුස්සා බැලීමට ඉඩක් ලැබෙනු ඇත.

මෝගල් ආක්‍රමණිකයන් ඇෆ්ගනිස්තානයේ බුදු දහම මුලුමනින්ම පාහේ අකාමකා දැමුවත්, අතරින් පතර, හොර රහසේ බුදු දහම අදහන පවුල් සහ ගම්මාන් සිටිති. ඔවුන් පිලිම වන්දනා කරන්නේ නැත.

ඇෆ්ගනිස්තානයේ ඔවුන්ට ආවේණික භාෂාවකින් අල්ලහ් දෙවියන් වදින යාඥා විධි ක්‍රමයක් පවතී. එය, සාම්ප්‍රදායික අරාබි යාඥාවම ධාරි බසට පෙරලා නිර්මාණය කරගත්තක් බව පැවසුනත් එහි ඇත්තේ පාලි පිරිත් ස්වරයමය. එවැන්නක් මා නැවතී සිටි පල්ලියක උදේ හතරට ප්‍රචාරය වේ. මම ඇස් පියාගෙන අසා සිටීමට හුරුවී සිටියෙමි.

ගුහා ඇතුලත පියස්ස



බාමියන් ගුවන් තොටේ ඇති පිලිම අනු රුව

Comments

  1. මොන රට ක මොන සංස්කෘතිය ක උනත් පුරාවස්තු විනාශ කරන එක අපරාධයක්. ඒ වගේ ම තමා හැම සමාජේ ම ත්‍රස්තවාදීන් නැහැ. එක කණ්ඩායමක් නිසා සමාජෙට ම ත්‍රස්තවාදී ලේබල් එක ඇලවෙන එක තමා වෙන්නේ.

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!