පරතර ගැටුම


 

"ඕකුන් බල්ල්ල්ලො... පර බල්ල්ල්ලො...

මරෝ මරෝ වැඩ ගන්නෙ. කුලියට වැඩ කරන උන් දාසයො කියල හිතන් ඉන්නෙ...

පර බල්ල්ල්ලො..."

යසරත්න, කට ගොන්නක් බීගෙන බැණ වදිමින් නිවසට ගොඩ විය.

"කාටද අනේ බණින්නෙ? අදත් බීල නේද?"

යසරත්නගේ බිරිඳ, කුසුමාවතී ඇසුවේ නෑඹිලියට සහල් ගරා ඉතිරි වූ ගල් සහ රොඩු බොඩු මිටකට ගෙන පිලිකන්නට විසි කරමිනි.

"බණින්නෙ? බණින්නෙ අර ඉස්කෝලයට. ඌ හිතාගෙන ඉන්නෙ මම උගෙ දාසයෙක් කියල. හතරහමාරටනෙ වැඩ අහවර වෙන්නෙ. අද අහවර වෙද්දි පහමාරයි. බල්ල්ල්ලො..."

"දෙයියනේ ඉස්කෝලෙ මහත්තයටද මේ බණින්නෙ? ඒ මොන වරදක් කලාටද?"

"මහත්තය? මහත්තය නෙවේ ඕකා බල්ල්ල්ලා..."

යසරත්නගේ නිවසත්, ඉස්කෝලෙ මහත්මයාගේ නිවසත් පිහිටියේ හූවක දුරිනි. අක්කර තුනක පමණ තේ සහ පොල් වගාකර ඇති ඉස්කෝලෙ මහත්මයාගේ ඉඩමේ කුලී වැඩ බොහෝ විට පැවරුණේ යසරත්නටය. වත්ත උදළු ගෑම, අතු කැපීම, පොහොර දැමීම, කාණු ගොඩ ලෑම ආදී වැඩ කන්දරාවක් විය. කුලී වැඩ, යසරත්නගේ පරම්පරාවේ අයට පැවරෙනුයේ කලක පටන්ය. යසරත්නගේ පියා වූ සිමියොන් සිඤ්ඤෝ ජීවත්ව සිටි කාලයේද ඉස්කෝලෙ මහත්මයාගේ නිවස සමඟ සමීප සම්බන්ධතාවක් විය. යසරත්නගේ කුලී වැඩට අමතරව, කුසුමාවතීද තේ දළු නෙලීම ආදී 'ගැහැණු' වැඩ සඳහා සතිපතාම පාහේ එහි ගියාය.

එදින, යසරත්න ඉස්කෝලෙ මහත්මයාගේ නිවසේ යෙදී සිටියේ තේ වත්ත උදළු ගෑමේ කටයුත්තෙහිය. සතියක් පමණ උදළු ගෑම කෙලවර ඉතිරි වූ අල්ලියක පමණ අමතර බිම් කඩක්, පසුවදාට ඉතුරු නොකර, ඉස්කෝලෙ මහත්මයාගේද ඉල්ලීම පිට කැමැත්තෙන්ම උදළු ගෑවේ යසරත්නමය. වැඩ අහවර කර නිවසට යන අතර කටගොන්නක් බී ගත් ඔහු, නිවසට ගොස් දෙස් දෙවොල් තබන්නට විය.

"අනේ කෑගහන්න එපා. වැරැද්දක් උනා නම් හිමින් හිමින් කතා කර ගන්නවකො. අපි වැඩි හරියක් හම්බු කොරං කන්නෙ ඒ මහත්තැන්ගෙන් නොවෙද? ඔහොම බැණ අඬ ගැහුවම හෙට ඒ පැත්තෙ පස් පාගන්නේ කොහොමද? "

"පස්? පස් නෙමේ මම පාගනව ඕකගෙ බෙල්ල. බල්ල්ල්ලො..."

යසරත්න නොනැවතීම, සිතේ කෝපය තුනී වන තුරුම බැණ අඬ ගැසුවේය.

...........................................................................................

යසරත්න බැණ අඬ ගසන හඬ, ඉස්කෝලෙ මහත්මයාගේ නිවසටද පැහැදිලිව ඇසුනේය. ඉස්කෝලෙ හාමිනේ, කණ යොමාගෙන අසා සිටියාය. 'ඉස්කෝලයා, බල්ලා, පරයා' ආදී වචන ඇසූ ඈ බිරාන්ත වී ඉස්කෝලෙ මහතා ඇමතුවාය.

"මේ ඇහුනද? අර යසරත්න ඔහේට බැණ අඬ ගහනව. ඒ මොන වරදක් කලාටද?"

"මටත් නෑහුනා නෙමේ හාමිනේ. ඔහේ බැණගත්තු දෙන්. මනුස්සයා බීල වගේ. අද සතියක කුලියත් ඇන්නනේ ගියේ. මුදලිහාමිගෙ කසිප්පු වාඩිය පැත්තෙ යන්න ඇති."

 

"ඒ මිනිහ ජීවත් වෙන්නෙ මෙහෙන්. කන්නෙ බොන්නෙත් වැඩිමනත් මෙහෙන්. අපි කෑමක් හැදුවත් උන්ට යවනව. ගඩා ගෙඩියක් කැඩුවත් කොටහක් යවනව. එහෙව් අපිට බැණ අඬ ගහන්නෙ අහවල් එහෙකටද?"

"දුප්පත් මිනිස්සුනෙ හාමිනේ. ප්‍රශ්ණ වලින් මිරිකිලා ඉන්නෙ. එක දුවකගෙ කසාදෙ කැඩිලා. ගෙදර එන්න අහනවලු පොඩි එවුනුත් කර ගහන්. පුතාගේ ත්‍රී වීල් එකේ ෆිනෑන්ස් ගෙවල නැහැලු මාස ගානකින්. කොයි වේලෙ හරි උස්සන් යයිලු. ඔය ප්‍රශ්න වල පීඩනේ පිට කරන්නෙ. නෑහුණා වගේ ඉන්න හාමිනේ. අපිට බැන්නට ඇඟේ ඇලෙන එකක්වයි? නැත්තං ඔය තරහ යන්නෙ කුසුමගේ පිටින්"

"අනේ මම නම් ඔය මනුස්සයට ආය කහටේකක් වත් වක්කරල දෙන්නෙ නෑ. කන්න අඳින්නත් දීල කුණු බැනුං අහන්ඩ" ඉස්කෝලෙ හාමිනේ ගස්සාගෙන ගෙට ගියාය.

...........................................................................................

පසුදා හිමිදිරියේම යසරත්න උදැල්ලත් කර පින්නාගෙන එළියට බැස්සේය.

"ඔය කොහෙ යන්නද?" කුසුමාවතී ඇසුවාය.

"ඉස්කෝලෙ මහත්තයලැයි දිහා. ඊයෙ මට අමතක උනානෙ තේ පඳුරු කීපයක් යටට උදැල්ල දාන්න. ඒක අහවරයක් කරලම එඤ්ඤං"

"කොහෙ යන්නද? ඊයේ රෑ ඒ මනුස්සයට බල්ල බල්ල කියල බැන්නෙ. ඇහෙන්ඩැති කනේ තිබ්බැහෙ"

"හත්තිකේ මම එහෙම බැන්නද?" යසරත්න ඇසුවේ ඇස් දෙක ගොබඩු ගෙඩි මෙන් ලොකු කරගෙනය. රාත්‍රී සුරා සැරට ඒවා කොහොමත් රතුවන්ව තිබිණි.

කුසුමාවතී අගක් මුලක් නෑරම යසරත්නට සියල්ල සිහිපත් කර දුන්නාය.

...........................................................................................

"යසරත්න මොකෝ මේ උදේම?"

නිවස අසල බිම බලාගෙන හොරගල් අහුලමින් සිටි යසරත්න දුටු ඉස්කෝලෙ මහත්මයා ඇසුවේ ඉස්තෝප්පුවට විත් කැඳ කෝප්පයක් සප්පායම් වන අතරමය.

"මහත්තයට මගෙ අතින් මේ… නරක වචන කීපයක් කියවුනා කියල කුසුම කියනව"

යසරත්න, මහපට ඇඟිල්ලෙන් පොලව හාරමින් කීවේය.

"ආ ඒකද. ඕව මොනවද යසරත්න. මම මේ බැළුවෙ උදැල්ලත් අරන් ඇවිත් ඉන්නෙ මට කොටන්නවත්ද කියල. ඊයෙ වැඩ අහවරයි නේද?" ඉස්කෝලෙ මහත්මයා කීවේ සියුම් උපහාසයක්ද සමඟිනි.

"ඊයේ තේ ගස් කීපෙකට උදැල්ල දාන්න බැරි උනා මහත්තය. මම ඒ ටික අහවර කරල එඤ්ඤං" යසරත්න තේ වත්තට පල්ලම් බැස්සේය.

" මේ ඇහුනද. මේ යසරත්නට වැඩ අහවර කරල බොන්න කහටේකක් වැක්කෙරුවනං"

ඉස්කෝලෙ මහතා එසේ කීවේ නිවස තුලට යමිනි.

2021.03.20

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!