ඇෆ්ගන් කතා 5 : පාසල් සංචාර

 මධ්‍ය කඳුකරයේ ඉඳිවන පාසල් නිරීක්ෂණය සඳහා අප පිටත් වන්නේ බාමියන් හෝ දයිකුන්ඩි නගර මධ්‍යයේ සිටය. බොහෝ දුර ගමනක් නම් උදෑසන හතට පමණ කඳවුරෙන් පිටත් වීම සිරිතයි. බාමියන් හා දයිකුණ්ඩි එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල් (UNICEF) කාර්යාල වල කුස්සියක්, කෝකියෙක් සහ කෑම කාමරයක් ඇත. එබැවින් කාර්යාල පරිශ්‍රයේම උදෑසන ආහාර ලබා ගත හැක. නියත වශයෙන්ම උදෑසන ආහාරය ඇෆ්ගන් පාන්ය. ඇෆ්ගන් පාන් යනු, විශාල කල්දේරම් වැනි භාජන තුල එල්ලා පිසින රොටී මෙන් පැතලි පාන් විශේෂයකි. ඒවා උණුවෙන් ආහරයට ගත යුතුය, නිවුනු පසු සපත්තු මෙන් ඝන වේ. පාන් ආහාරයට ගැනීමට බැටළු, එළු හෝ ගව මස් හොද්දක් පිලියෙල වේ. මේ හොදි වලට තක්කාලි යහමින් යෙදවේ. ඊට අමතරව පිපිඥ්ඥා, තක්කාලි, ගෝවා කොල මුසු සලාද, යෝගට් සහ කොල තේ (green tea) ලැබේ. බිම එලූ පැදුරක් මත එරමිනියා ගොතාගෙන වාඩි වී ආහාර ගත යුතුය. මුලදී මේ ක්‍රමය අසීරු වුවත්, කල් යත්ම හුරු වේ.ආහාර ගෙන නිමවන අප, දහවල් ආහාරය පිණිස පාන්ද, හොදි සහ සලාද ආදිය ඇලුමිනියම් කොල වල ඔතා පාර්සල් කර ගන්නෙමු. 

සාම්ප්‍රදායක උදුනක ඇෆ්ගන් පාන් පුළුස්සන වැඩිහිටි කතක් සේයාරුව අන්තර්ජාලයෙනි

ගමන සඳහා අවම වශයෙන් රථ දෙකක් සහභාගි කරවීම නීතියකි. දුශ්කර දුරබැහැර මාර්ග වල ආපදා සිදුවේදැයි කිව නොහැක. හදිසි තත්ත්වයකදී එයට මුහුණ දෙන ආකාරයේ පුහුණුවක් එක්සත් ජාතීන්ගේ සේවකයන් විසින් ලබා තිබීම අනිවාර්යය. ඉතාමත් අසීරු අවස්තාවකදී එක් වාහනයක් අත්හැර දමා අනෙකින් ආරක්ෂිත ස්තානයක් කරා ලඟා වීමට ඉඩපහසුකම් තිබීම අනිවාර්යය. මේ වහන වල චන්ද්‍රිකා දුරකථන පහසුකම්, වෝකි ටෝකි පහසුකම් ඇත. අමතර ටයර දෙකක්, අමතර ඉන්ධන, අවශ්‍ය නම් වෙඩි නොවඳින ඇදුම්, ප්‍රතමාධාර කට්ටල, වතුර බෝතල් (බීම සඳහා අවශ්‍ය තරම්) සහ අපගේ ඇදුම් බෑග සහ සටහන් පොත්, කැමරා ආම්පන්නද ඇත. වාහන ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය. අප, ලෑන්ඩ් කෲසර් VDJ76, J100, UZJ200 මාදිලි වල රථ භාවිතා කරන්නෙමු. VDJ76 මාදිලියේ නව නිෂ්පාදනය සැප පහසුකම් අතින් අවම උනත් දුශ්කර මාර්ගයන්ට ගැලපෙන්නේ බොහෝ විට එම වාහනයි.


නායගිය පෙදෙසක දුෂ්කර ගමනක

ඇෆ්ගනිස්තානයේ දියුණු මාර්ග පද්ධතියක් නොමැත. බාමියන්හි සිට කිලෝමීටර් 50 ක් පමණ දිවෙන නවීන කාපට් ඇතිරූ මාර්ගයක් ඇතත්, ඉන් ඔබ්බට හෝ වෙන අතකට එවන් මාර්ග නැත. කඳුකර මාර්ග, ඉතා පටු මාර්ග බෑවුම් තුලට කපා ඇත. මේවායෙ තාර අතුරා නැත. දුහුවිලි, වලවල් සහ ගල් බොරළු සහිතය. වාහන දෙකක් මාරු වීමද අසීරුය. එහෙත් මේ දුශ්කර මාර්ග වල රෝද දහයක් ඇති රුසියාවේ නිශ්පාදිත 'කමාස්' වර්ගයේ ලොරි ඈත දුශ්කර නගර හා ගම්මාන වලට පාරිභෝගික ද්‍රව්‍ය ගෙන යති. ඇතැම් කඳු බෑවුම් වල, පෙරලී ගිය ලොරි වල ඇටසැකිලි වැනි රාමු ගොඩ ගැසී ඇත. දුහුවිල්ල කෙතරම්ද යත්, සෑම දිනයක් අවසානයේම වාහන වල වායු පෙරණ (air filter assembly) ගලවා සුද්ධ පවිත්‍ර කල යුතුය. ඒ සඳහා පහසුකම් සපයන්නන් ගම්බද කුඩා කඩ පිලක පවා සිටිති. සීත කාලයේ තත්ත්වය ඉතා දරුණුය. අධික හිම පතනයත් සමඟ මාර්ග ඇතැම් විට අඩි 30 ක් දක්වා උස හිම තට්ටු වලින් වැසී යයි. මේ හිම කපා පාදාගන්නා තුරු ගමනාගමනය මුලුමනින්ම ඇණ හිටී. පාරවල් අධික ලෙස ලිස්සන සුළුය. සීත කාලයේ වාහන වල ඇති දිය  බඳුන් මිදේ. ඒවා අව්වේ තබා දියවීමට හැරිය යුතුය. අධික සීතල දිය බීවහොත් උගුර වණ වී තුවාල ඇතිවේ. සීත සමය අවසන් වත්ම හිම දියවී ගංවතුර ඇතිවේ. මේ ගංවතුර ඇතැම් විට ගැඹුරු ඇලි පස තුලට  හාරයි. ඇතැම් ගමනාන්ත වලට, අප මේ ඇලි තුල උමගක මෙන් රියෙන් යන්නෙමු. වාහන වල බඳ නොසීරී යාමට තරම් ඒ ඇලි පලල්ය. ගං වතුරත් සමඟ, ජල මාර්ග වලට එක්වන අධික දිය කඳ, ගංගා හරහා ඇති ලී පාලම් පෙරලා දමයි. එවිට, වාහන ගඟට බැස වැලි තලා මතින් හෝ ඇතැම් විට පාරු මතින් එගොට කිරීමටද සිදුවේ. පාලම් පැවතියත්, ශක්තිය පිරික්සා බලා මිස, ඒවා පාවිච්චි කල නොහැකිය. ඇතැම් විට කඳුකර ඉවුරු නායයයි. තෙත බරිත පාරවල් වල ගමන අතුරක යන්නාක් මෙන් අධි අවදානම්ය. ඇතැම් තැන්හි ගිරි දුර්ග වල සොරුන් කණ්ඩායම්ද සරති. මොවුන් ආරක්ෂක අංශ ලෙස වෙස්වලාගෙන, වාහන නවතා මංකොල්ලකයි. එවැනි අවදානම් සහ ත්‍රස්තවාදී උවදුරු ඇති පෙදෙස් වල ගමන් සඳහා මුදල් ගෙවා පොලිස් ආරක්ෂාව සපයා ගත යුතුය. පොලිසිය කොල පැහැති 'ෆෝඩ් රේන්ජර්' වර්ගයේ (2009 මාදිලිය) රිය දෙකක්, සන්නද්ධ භටයන්ද සමඟ අප සමඟ ගමන් කිරීමට යොදවයි. 

අපට පෙර ගමන් යන පොලිස් රියක්

අපගේ ගමන් මාර්ගයේ ආපන ශාලා ආදිය ඇතත්, බෙහෙවින්ම අපිරිසිදුය. එබැවින්, පාන් පමණක් මිලදී ගෙන ගස් සෙවණක හෝ නදියක් අයිනෙ පැදුරු එලා වාඩි වී ආහර ගන්නෙමු. මගේ ගමන් මල්ලේ ලංකාවෙන් ගෙන ගිය තේ සහ මාළුවක් බොහෝ විට ඇත. අප ඒවා බෙදා හදා ගන්නෙමු. ඇතැම් විට, මග ඇති වගාවකින් ඇපල්, දෙළුම් ආදිය ලබාගත හැක. ඇෆ්ගනිස්තානයේ දෙළුම් ඉතා තද රතුය, ප්‍රණීතය. අර්තාපල බහුල සමයේ අර්තාපල් සහ බතල මිලදී ගෙන, නවාතැනකදී තම්බා අහාරයට ගත හැක.

ඇතැම් ක්ෂේත්‍ර චාරිකාවක් සතියක් තරම් දිගු වේ. මා විසින් ඉඳිකිරීම් කලමණාකරණය කල එවන් එක් පාසලක පැය දෙකක පමණ නිරීක්ෂණ චාරිකාවක් සඳහා දින තුනක් පමණ ගමනක යෙදිය යුතුය, පැය දෙකක් සඳහා සතියක් මග ගතකල යුතුය.


නදී ගංගා තරණයේ....

මේ දුශ්කර ගමන් සඳහා අපගේ නවාතැන වන්නේ ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයන්ය. ඒවා, මැටි බිත්ති ඇති, මැටි වහලවල් ඇති, බිමටද මැටි; කලාතුරකින් සිමෙන්ති ඇතිරූ මඩු වැනි ගොඩනැගිලිය. ජනෙල් අවම මෙවන් ස්තාන වල, සීතල කාලයන් හිදී ගෑස් මඟින් දැල්වෙන උණුසුම සපයන උදුන් ඇත. මේ උදුන් මත නිතරම උතුරන වතුර කේතලයකි. එහි කොල තේ දමා ඇත. එයින් සිත් සේ තේ වත්කර ගෙන, කිරි රසැති ටොපියක් සමඟ රස විදියහැක. ඇෆ්ගනිස්තායේ තේ වලට සීනි දමන්නේ නැත. රාත්‍රී ආහාරයට පාන් හෝ තැම්බූ අල ලැබේ. සුපුරුදු පරිදි ගව මස් හොද්දක් හෝ ස්ටුවක් සැපයේ. මම ගවමස් ආහාරයට නොගන්නා බව දන්නා ඇත්තෝ කුකුල් මස් ස්ටුවක් මා වෙනුවෙන්ම පිලියෙල කරයි.

ආහාරයෙන් පසු නිදා ගැනීමට බිම අතුරන කුශන් සහ ගුදරි සම්පාදනය වේ. ඒවා නැතිනම්, නිදන බෑගයක පිහිට ලැබේ. මේ නවාතැන් වල නාන කාමර හෝ ජලමුද්‍රිත වැසිකිලි නොමැත. මුහුණ යන්තම් තෙමා ගැනීමට බීමට ගන්නා දිය බෝතලයක් යොදා ගත හැක. වැසිකිලියට වඩා ගං ඉවුරක් බොහෝ යහපත්ය! ගමනාන්තයේ කාබුල් නුවරටල් ලඟා වූ පසු දින සතකට සරිලන්නට නෑම මම පුරුදු කරගෙන සිටියෙමි.


ඇෆ්ගනිස්තානයේ බර උසුලන කමාස් ලොරියක්, කඳුකරයේ දුශ්කර ගමනක. සේයාරුව අන්තර්ජාලයෙනි

උස් කඳු මුදුන්වල සීත වැඩි දියුණු කරනුයේ නිරන්තර සුලං ප්‍රවාහයයි. මෙම සුලං අතිශය ප්‍රබලය. හදිසියේ කාර්යාල කටයුත්තක් හෝ යමක් කරගන්නට, කූඩාරමක් තුලට රිංගා ගැනීමට හෝ වාහනය තුලට වැදීමට සිදුවේ. වියලි කාල වලදී මෙම සුලං දුහුවිලි කුණාටු බවට පෙරලේ. 

දීර්ඝ ගමනකින් පසුව, ඉඳි කිරීම් සිදුවන පාසලක් වෙත ලඟා විය හැකිය. ආගන්තුක සත්කාරයේ ලැදි ගම් වාසීන් සහ ගෝත්‍ර නායකයන්, විදුහලේ ගුරුවරුන් කිහිප දෙනා සමඟ මහත් වූ හරසරින් අපව පිලිගනු ලබයි. මේ පිලිගැනීම සිප වැලඳ ගැනීමක්, සුලු බීම සංග්‍රහයක් හෝ එළුවෙකු දෙවියන්ට පුදා මාංශය පිස පිලියෙලකරගත් ආහාරයක් විය හැකිය. මෙවන් ඇදහිලි සංස්කෘතික ඇසකින් සහ හදවතකින් විඳ දරා ගත යුතුය.  පාසල නිමවන තුරු, තාවකාලික කූඩාරම් තුල හෝ එලිමහනේ සිසුහු අධ්‍යාපනය ලබති.

Comments

  1. කමාස් ලොරි තවම නිෂ්පාදනය වෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. Kamaz කියල සර්ච් කරන්න. මෙගා කම්පැනි එකක්

      Delete
    2. ඔව්. Kamaz කියල සර්ච් කරන්න. මෙගා කම්පැනි එකක්

      Delete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!