ඇෆ්ගන් කතා 6 : බන්ද්-ඊ-අමීර් විල (Band-e Amir Lake)

 බාමියන් නුවරින් යකවලන්ග් දක්වා දිවෙන මහා මාර්ගය, එම පෙදෙසේ ඇති එකම නවීන මහා මාර්ගයය. මෙම මාර්ගය ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ නවීකරණය කරන්නේ 2010 වසරේදීය. යකවල්න්ග් හි සිට ආරම්භ වන මාර්ගයේ පාසල් රැසක් අළුතින් ඉඳි වූ නිසා, එම මාර්ගය මට ලංකාවේ කොලඹ-රත්නපුර පාර මෙන් හුරුපුරුදුය. යකවලන්ග් පසු කර, ආපසු බාමියන් දක්වා එන අප, දහවල් ආහාරය සහ විවේකය සඳහා නිතරම යන එන තැනක් ඇත. දුහුවිල්ලෙන්, පාෂාණ පබ්බතවලින් පිරුණු ඇෆ්ගන් භූමියේ, දෙව් ලොවෙන් ඇද වැටුණු මිණි පලඟක් මෙන් දෙස් දෙන විලකි. බාමියන් යකවලන් මාර්ගයෙන් දකුණට හැරී , පැයක පමණ ගමනකින් පසු එතැනය ලඟා විය හැකිය. දුඹුරු දුහුවිලි අවුස්සමින් යන ඔබේ දර්ශන පථයය මේ විල 'කඩාපාත් වන්නේ' හිටි හැටියේමය. මම පලමු වරට එහි යද්දී, මගේ ගමන් සගයා වන ඉන්ජිනේරු හසීබ්, යන දෙස නොකියා කැදවාගෙන ගියේය. ඇත්ත වශයෙන්ම මම ගල් ගැසුනෙමි. ඒ දසුන ඒතරම් චමත්කාර ජනකය, ආනන්දනීයය.

ඒ බන්ද්-ඊ-අමීර් විලයි.

බන්ද්-ඊ-අමීර් විල සමන්විත වී ඇත්තේ මීටර් 150ක් පමණ සාමාන්‍යකින් ගැඹුරු, දීප්තිමත් මොණර නිල් පැහැති විල් හයක එකතුවකිනි. නිල් පැහැය ඇතැම් විටෙක රාජකීය නිලෙහි සිට ඉරිඟු මල් වල නිල් පැහැය දක්වා වූ පරාසයක විහිදෙයි. මේ විල් නිර්මාණය වී ඇත්තේ හුණුගල් විශේෂයක් වන ට්‍රැවර්ටයින් (Travertine) නම් හුණු ගල් විශේෂයක් තුලින් කාබන්ඩයොක්සයිඩ් මුසු උල්පත් ජලය වසර මිලියන ගනනාවක් තිස්සේ කාන්දු වීමෙනි. මෙම විල් වෙන්වී ඇත්තේද ස්වාභාවිකව නිර්මාණය වූ එවන් හුණු ගල් බැමි සහ වේලි මඟිනි. බාමියන් නුවරට බටහිරින්, කිලෝමීටර් 50ක් පමණ දුරින් ඇති මේ විල් යකවලන්ග් (Yakawalang) දිස්ත්‍රික්ක මායිමට අයත් වේ. 2009 වසරේ, මේ විල පිහිටි හෙක්ටයාර 61,330 ක භූමිය බන්ද්-ඊ-අමීර් ජාතික උද්‍යානය ලෙස ඇෆ්ගනිස්තාන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඇෆ්ගනිස්තානයේ එවන් ජාතික උද්‍යානයක් ප්‍රකාශයට පත්කලේ පලමුවන වතාවටය.

මෙලෙස, ස්වාභාවිකව නිර්මිත විල් ඇත්තේ ලොවටම අතලොස්සක් පමණකි. උද්‍යානයේ ආරක්ෂාව සඳහා රජය විසින් පත්කල ආරක්ෂකයන් කිහිප දෙනෙක් සේවයට යොදවා සිටී.

බන්ද්-ඊ-අමිර් විල පිහිටි පෙදෙස, ඇෆ්ගනිස්තානයේ ග්‍රෑන්ඩ් කැනියොන්’ (Grand Canyon) ලෙස හන්දුනවනු ලැබෙයි. යුදමය සහ අනාරක්ෂිත වාතාවරණය මධ්‍යයේ වුවද දස දහස් ගනන් දෙස් විදෙස් සංචාරකයන් මේ විල් නැරඹීමට වාර්ෂිකව ඇදී එති.  විල් වලින් නිකුත් වන ජලය බල්ක් (Balkh) නදියට එක් වේ. මේ ජලය කිවුල්ය. එබැවින් බීමට,සේදීමට ආදී කටයුතු වලට යොදා ගැනීමට නොහැකිය. කිවුල, අඩු ඔක්සිජන් ප්‍රතිශතය ආදිය නිසා විල් දියෙහි සප්‍රාණිකයන් ඇත්තේද මඳ වශයෙනි. 

බන්ද්-ඊ-අමීර් යන්නෙහි තේරුම 'අණදෙන්නගේ වාරි බැම්ම (Commander’s Dam)' යන්නයි. එය, මුස්ලිම් වරුන්ගේ සිව්වන කලීෆාවරයා වන 'අලි' වෙනුවෙන් නම්කර ඇතයි සැලකේ. විල් ඉස්මත්තේ යාඥා කටයුතු සහ ඉස්ලාම් දේවස්ථානයකි.


බන්ද්-ඊ-අමීර් විලෙහි ජලය, අවසන් විලෙන් කුඩා නදියකට හැරෙන්නේ කුඩා දිය ඇලි ගනනාවක් සාදමිනි. මේ දිය ඇලි සමීපයේ අවන් හල් සමූහයක් ඇත. මැටියෙන් තැනූ මේ දෙමහල් අවන්හල් වල උඩු මහලේ සිට, විලෙහි සෞන්දර්යය සහ මද නලෙහි පහස විඳිමින් ආහාර ගැනීම ආශ්වාද ජනකය. 



ආහාර ගැනීමෙන් පසු, අපි විල දක්වා ඇති කොන්ක්‍රීට් ඇතිරූ පෙත් මඟෙහි ඇවිද යන්නෙමු. පෙත් මඟ දෙපස, පොලවෙන් ඉහලට එසැවුනු කඳු ශිඛර ඇත. ඒවායෙහි ඇති ලෙන් වල හාවුන්, ඌරු මීයන්, බිම් බස්සන් ආදී සතුන් වෙසෙති. අහසේ රාජාලීන් සැරිසරති. පොලව දිය සීරාවෙන් යුක්ත නිසා සාරවත් ලෙස තෘණ වැඩී ඇත.

විල් දිය කොතරම් ගැඹුරුද කිවහොත්, විල් අයිනෙන්ම ඇත්තේ දියට නැමුණු ගැඹුරු ප්‍රාකාරයකි. එහි ගිලී යන්නන්ගේ මල සිරුරු හෝ සොයා ගත නොහැකි යැයි මිතුරන් කියති. විල් පත්ලේ, කඳු බෑවුම් වලින් සෝදා ගිය රොන් මඩ පිරී ඇතැයි සිතීම සාධාරණය.

විල් ඉවුරෙහි, කුලියට ගත හැකි හංහ බෝට්ටු ඇත. කුලියට දෙන්නන් සතුව ජීවිතාරක්ෂක කබා වැනි මෙවලම් නැති බැවින්, එම බෝට්ටු චාරිකා තරමක් අනතුරුදායකය. එසේ වුවත්, හැකි සෑම විටම අපි විලෙහි බෝට්ටු පැද්දෙමු.

බන්ද්-ඊ-අමීර් විල ඇෆ්ගන් පෙම්වතුන්ගේ පාරාදීසයකි. කොතරම් වැට කඩුළු යෙදුවද, ප්‍රේමයත්, කැස්සත් සැඟවිය නොහැකිය. පෙම්වතුන්, කුලියට ගත් හංස බෝට්ටුවක නැඟී, විලෙහි අහුමුල්ලක ඔවුන්ගේම සිහින ලෝකයක ගිලී සිටිති. බාමියන් පෙදෙසේ වසන හසරාවරු, ශියා ඉස්ලාම් ආගම අදහන පිරිසකි. ඔවුන්ගේ සමාජ දර්ශනය තුල, ඇෆ්ගනිස්තානයේ වෙනස් පෙදෙස්වල මෙන් දරුණු අන්දමේ බාධා ප්‍රේමයට නොමැත.

බන්ද්-ඊ-අමීර් විල සීත සෘතුවේ ඝණ හිම තට්ටුවකින් වැසී, සුසුදු හිම තලාවක් බවට පත් වෙයි. එකල්හි එහි හිම ක්‍රීඩා පැවැත්වේ. සීත කාලයේ බාමියන් වෙත ගුවන් ගමන් නොවීම නිසා සහ මාර්ග බිඳ වැටීම් නිසා, එහි අසිරිය විඳීමේ වාසනා මහිමය මවෙත වූයේ නැත.



Comments

  1. මෙහෙම තැන් හරි සුන්දරයි තමා. විශේෂයෙන් හුදෙකලා තැන් උනා නම්. යුද්ධ වලින් වෙන එක දෙයක් තමා මෙන්න මේ වගේ තැන් මීහරක් වගේ හැසිරෙන මිනිසුන්ගෙන් බේරෙන එක.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මේකට ඕනවට වඩා සෙනඟ එන්න ආවොත් හානි වෙන්න ඉඩක් තියෙනව

      Delete
    2. එකඟයි. මේකට ඕනවට වඩා සෙනඟ එන්න ආවොත් හානි වෙන්න ඉඩක් තියෙනව

      Delete
    3. එකඟයි. මේකට ඕනවට වඩා සෙනඟ එන්න ආවොත් හානි වෙන්න ඉඩක් තියෙනව

      Delete
    4. එකඟයි. මේකට ඕනවට වඩා සෙනඟ එන්න ආවොත් හානි වෙන්න ඉඩක් තියෙනව

      Delete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!